දේශීය පුවත්
නාමල්ගේ විවාහ උත්සවයේ විදුලිබිල පිළිබඳ පෙත්සම විභාගයට අවසර
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවයේ දී භාවිතා කරන ලද විදුලිය වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් මිලියන 2කට අධික මුදලක් නිසි වේලාවට ලංකා විදුලිබල මණ්ඩලයට නොගෙවීම තුළින් මෙරට ජනතාවගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා නීතිඥවරයෙකු විසින් ගොනුකර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (11) අවසර ලබා දුන්නා.
එම පෙත්සම නීතිඥ විජිත කුමාර මහතා විසින් ගොනුකර තිබුණා.
මෙහිදී වගඋත්තරකරුවන් ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළුව පිරිසක් නම් කර ඇති බව සඳහන්.
මෙම පෙත්සම අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගේ සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබුවා.
පෙත්සම්කර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වේරගොඩ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවය සඳහා සම්පාදනය කරනු ලැබූ විදුලිය වෙනුවෙන් ගෙවිය යුතු ගාස්තු නිසි වෙලාවට ලංකා විදුලිබල මණ්ඩලයට ගෙවීම පැහැර හැරීම පිළිබඳව පෙත්සම්කරු පෙත්සම ඉදිරිපත් කර තිබූ බවයි.
අදාළ විදුලි ගාස්තුව මේ වන විට ගෙවා අවසන් කර ඇති බැවින් එම ක්‍රියාව තුළින් මහජනතාවගේ මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව අධිකරණයෙන් ප්‍රකාශයක් පමණක් මෙම නඩුකරය තුළින් අපේක්ෂා කරන බවද නීතිඥවරයා මෙහිදී පවසා තිබෙනවා.
වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ විදුලි ගාස්තු මේ වන විට ගෙවා අවසන් කර තිබෙන බව සඳහන් කළා.
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලු විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දුන්නා.
පෙත්සම්කරු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ මංගල උත්සවයේ දී පරිහරණය කරන ලද විදුලිය වෙනුවෙන් රුපියල් මිලියන 2කට අධික මුදලක් ලංකා විදුලිබල මණ්ඩලයට ගෙවීමට නියමිතව තිබුණත් එම විදුලි ගාස්තු ගෙවා නොතිබූ බවයි.
ඉන් කාලයකට පසුව මෙම නඩුකරය ගොනු කිරීමෙන් අනතුරුව අදාළ විදුලිබල ගෙවා දැමීමට කටයුතු කර තිබෙන බවද ඔහු පෙන්වා දෙනවා.
සාමාන්‍ය ජනතාවගේ කුඩා වටිනාකම්වලින් යුත් විදුලිබිල් පවා නිසි වෙලාවට නොගෙවූ බවට චෝදනා කරමින් ලංකා විදුලිබල මණ්ඩලය විදුලිය විසන්ධි කිරීම් සිදුකරන බව පෙන්වා දෙන පෙත්සම්කරු මෙතරම් විශාල විදුලි ගාස්තුවක් නිසි වේලාවට අයකර ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු නොකිරීම බරපතළ වරදක් බවත් සඳහන් කරනවා.
ලංකා විදුලිබල මණ්ඩලයේ මෙම අසාමාන්‍ය ක්‍රියා කලාපය තුළින් ජනතාවගේ මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා එම නීතිඥවරයා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.
