සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ජනපතිගේ සහ අග්‍රාමාත්‍යවරියගේ පොසොන් දින පණිවිඩය

පොසොන් පොහොය ශ්‍රී ලංකීය අපට සුවිශේෂී සිදුවීම් සමුදායක් සිදුවූ වැදගත් දිනයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා සිය පොසොන් පොහොය දිනය වෙනුවෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ පොසොන් පොහොය දිනයෙන් ප්‍රකට කෙරෙන වටිනාකම තුළ ඉස්මතු කර දැක්විය යුතු මහ ගුණාංගයක් වන්නේ අවිහිංසාව බවයි.

අවිහිංසාව යනු තමන්ගේ ද අනෙකාගේ ද ජීවන නිදහස සහ අයිතිය සුරක්ෂිත කෙරෙන සනාතන වටිනාකමක් ලෙස සියලු හදවත්හි රඳවා ගත යුතු බවද ඒ මහතා සිය පණිවිඩයෙන් පෙන්වා දෙනවා.

මේ අතර අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය ද පොසොන් පොහොය දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

අග්‍රාමාත්‍යවරිය සිය පණිවිඩයෙන් සඳහන් කරන්නේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ගමන් කළ සදහම් මඟ පිළිබඳ යළි යළිත් සිතමින් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවෙන් අපගේ ජීවිත වෙත ආලෝකය සහ ශාන්තිය ළඟා කර ගැනීම සඳහා කටයුතු කිරීම ඉතා වැදගත් බවයි.