දේශීය පුවත්
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ පළමු ඉන්දීය නිල සංචාරය ආරම්භ වෙයි
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ධූරයට පත්වීමෙන් පසු තම පළමු විදේශ නිල සංචාරය සඳහා අද අලුයම (16) ඉන්දියාවේ නවදිල්ලි නුවරට පිටත්ව ගියාය.
නවදිල්ලියේදී අග්‍රාමාත්‍යවරිය ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහීෂිනි කොලොන්නේ මහත්මිය, ඉන්දීය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් විසින් උණුසුම්ව පිළිගනු ලැබීය.
මෙම සංචාරය තුළදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සහායෝගීතා සබඳතා ශක්තිමත් කිරීම අරමුණු කරගෙන අග්‍රාමාත්‍යවරිය, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ තවත් ජ්‍යෙෂ්ඨ නායකයින් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
එමෙන්ම 2025 NDTV ගෝලීය සමුළුව සඳහා සහභාගී වන අතර එහිදී ප්‍රධාන දේශනය ද පවත්වනු ඇත. මෙම සමුළුවේදී ගෝලීය නායකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ චින්තන නායකයින් එක්ව ජාත්‍යන්තර අභියෝග සහ නව අවස්ථා පිළිබඳව සාකච්චා කරනු ඇත.
අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යවරිය ඉන්දියානු තාක්ෂණ ආයතනය (IIT) සහ NITI Aayog සංවර්ධන සහ පර්යේෂණ ආයතනය නැරඹීමටද නියමිත අතර, අධ්‍යාපනය, නවෝත්පාදනය සහ තාක්‍ෂණික සහයෝගීතාව වැඩිදියුණු කිරීම ඇයගේ ප්‍රමුඛ අරමුණකි.
දිල්ලි හින්දු විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන අග්‍රාමාත්‍යවරිය, මෙම සංචාරය අතරතුර තම පුරාණ පාසල නැරඹීමටද නියමිතය. ඇය ඉන්දියාවේ ව්‍යාපාරික නායකයින් සමඟ වාණිජ හා ආයෝජන වැඩසටහනකට සහභාගී වීමටද අපේක්ෂා කෙරෙයි. මෙම සංචාරය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින මිත්‍රත්වය හා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේදී වැදගත් පියවරක් ලෙස සැලකේ.
