දේශීය පුවත්
අධික රුධිර පීඩනය පාලනය සඳහා රාගම වෛද්‍ය පීඨයෙන් නව ඖෂධයක්
අධික රුධිර පීඩනය පාලනය කිරීම සඳහා නව ඖෂධයක් නිෂ්පාදනය කිරීමට කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ රාගම වෛද්‍ය පීඨයේ වෛද්‍ය කණ්ඩායමක් සමත්ව තිබේ.
මෙම නව ඖෂධය නිෂ්පාදනය කර ඇත්තේ, අධික රුධිර පීඩනයෙන් පෙළෙන රෝගීන්ට පිරිනැමෙන සාම්ප්‍රදායික ත්‍රිත්ව පෙති මාත්‍රාවක් වෙනුවට එක් පෙත්තක් ලෙසය.
පර්යේෂණවලින් අනාවරණය වී ඇත්තේ, මෙම ඖෂධය ලබා ගැනීමෙන් රුධිර වාහිනී පිපිරීයාමෙන් හා අංශභාගී තත්ත්වයෙන් පීඩා විඳිය හැකි අවදානම 60%කින් අඩු කළ හැකි බවයි.
මෙය සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදී ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය බිම්සර සේනානායක මහතා මෙසේ සඳහන් කළේ,
“අංශභාගය කියන්නේ රුධිර වාහිනියක් අවහිරවීමක් හෝ පිපිරීමක් නිසා ඇතිවන බහුල රෝගයකි. අපි මෙම ඖෂධය පරීක්ෂා කළේ එවන් රෝගීන් මතය. පරීක්ෂණවලින් දැන් හෙළිවෙලා තියෙනවා මේ ඖෂධය අධික රුධිර පීඩනය පාලනය කරමින් අංශභාගය නැවත ඇතිවීම 60%කින් වළක්වාගන්න පුළුවන් බව.”
එම මාධ්‍ය හමුවේදී හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා ද අදහස් දක්වමින් පැවසුවේ,
“ලංකාවේ අවුරුදු 30 සිට 80 අතර පුද්ගලයන්ගෙන් 35%කට අධික රුධිර පීඩනය තියෙනවා. සමහර අය එය දන්නේ නැහැ. මේ නව ඖෂධය මගින් රුධිර පීඩනය ඉතා ඉක්මනින් පාලනය වෙලා එය දිගටම තබාගන්න පුළුවන් බව පරීක්ෂණවලින් හෙළිවෙලා තියෙනවා. මේක අධික රුධිර පීඩන රෝගය වළක්වා ගැනීමට ඉතා වැදගත් පියවරක්.”
ඇතැම් විශේෂඥයන් පෙන්වා දෙන්නේ මෙම නව සංයෝජිත ඖෂධය ඉදිරියේදී රජයේ රෝහල් පද්ධතිය තුළ අඩංගු කිරීමෙන් රුධිර පීඩනයෙන් පීඩා විඳින රෝගීන්ට විශාල සහනයක් ලැබිය හැකි බවය.
