සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

චිත්‍රසිරි වාර්තාව ඉල්ලා විශ්‍රාමික මන්ත්‍රීවරුන් ඉල්ලා නඩු මඟට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් ගෙවීම පිළිබඳව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු චිත්‍රසිරි මහතා සකස් කළ නිර්දේශ ඇතුළත් වාර්තාව ලබා ගැනීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගන්නා බව විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රී එකමුතුව පවසනවා.

එම සංසදයේ ලේකම් ප්‍රේමසිරි මානගේ මහතා කියා සිටියේ මීට මාස කිහිපයකට පෙරදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හිටපු මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් විනිසුරු චිත්‍රසිරිගෙන් විමසීමක් කර තිබෙන බවත් ඒ අනුව විනිසුරුවරයා ජනාධිපති කාර්යාලයට නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කර තිබෙන බවත්ය.

ජනාධිපති කාර්යාලය මේ දක්වා එම නිර්දේශ ප්‍රසිද්ධ කර නොමැති බවද ඔහු පෙන්වා දෙනවා.

ඒ මහතා සඳහන් කරන්නේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ චිත්‍රසිරි වාර්තාවේ නිර්දේශයන් ලබාදෙන ලෙස පෙබරවාරි මසදී ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිතව හා වාචිකව ඉල්ලීමක් කළ නමුත් එම තොරතුරු නොලැබුණු බවයි.

ජනාධිපති ලේකම් කාර්යාලය සතුව එවැනි වාර්තාවක් හෝ නිර්දේශයන් නොමැති බව තමා ලිඛිතව දන්වා ඒවා ඇති බවද ඔහු පවසනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේ මෙමඟින් ආණ්ඩුව ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය උල්ලංඝනය කර තිබෙන බවත් ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලට එරෙහිව නීති මඟට යොමු වන බවත්ය.

Tags