සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

ගාසා සාම ගිවිසුමට මුල් පියවර තැබීමට හමාස් සූදානම්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හමාස් සංවිධානයට නිකුත් කළ අවසන් නිවේදනයකට අනුව, ගාසා තීරය සඳහා නිර්දේශ කළ සාම සැලැස්මේ පළමු පියවර පිළිගැනීමට හමාස් සංවිධානය එකඟ වී තිබේ.

ඒ අනුව, ගාසා මත බෝම්බ ප්‍රහාර නවත්වන ලෙස ජනාධිපති ට්‍රම්ප් විසින් ඊශ්‍රායලයට දැනුම් දී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඊට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය සඳහන් කළේ, සාමය සඳහා වන “ට්‍රම්ප්ගේ සැලැස්ම” වෙනුවෙන් එක්සත් ජනපදය සමඟ එක්ව කටයුතු කරන බවයි.

ජනාධිපති ට්‍රම්ප් තම Truth සමාජ ජාලයේ සටහනක් තබමින් හමාස් සංවිධානයට අවවාද කළේ, එළඹෙන ඉරිදා ග්‍රිනිච් වේලාවෙන් රාත්‍රී 10ට (වොෂින්ටන් වේලාවෙන් ප.ව. 6ට) පෙර තම සාම සැලැස්ම පිළිගැනීමට යුතු බවයි.

මෙම සැලැස්මට අනුව

  1. වහාම සටන් නවත්වන අතර,
  2. හමාස් විසින් රඳවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 20 දෙනෙකු නිදහස් කරයි.
  3. මියගිය බව සැලකෙන ඇපකරුවන්ගේ මල සිරුරු පැය 72ක් තුළ භාරදීමට යෝජනා කර ඇත.

එමගින් ඊශ්‍රායලය අත්අඩංගුවේ සිටින ගාසා වැසියන් පිරිසක් හුවමාරු කර ගැනීමට නියමිතය.

එසේ නොවන්නේ නම්, හමාස් සංවිධානයට එරෙහිව දැඩි පියවර ගන්නා බව ජනාධිපති ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.

ඒ අනුව, වසර දෙකකට ආසන්න කාලයක් පුරා දිගු වූ ගාසා-ඊශ්‍රායල යුද්ධය අවසන් කරමින්, 2023 ඔක්තෝබර් 7 දින ප්‍රහාරයෙන් අල්ලාගත් ඉතිරි සියලුම ප්‍රාණ ඇපකරුවන් ආපසු ලබාදීමට හමාස් එකඟ වී ඇත.

කෙසේ නමුත්, ට්‍රම්ප්ගේ සැලැස්මේ ප්‍රධාන කොටසක් වන හමාස් නිරායුධ වීම සහ ගාසා පාලනයෙන් ඉවත්වීම පිළිබඳව හමාස් තවමත් අවසන් එකඟතාවයකට පැමිණ නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.

Tags