සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

S M චන්ද්‍රසේන ඇප මත නිදහස් කරයි

රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු එස්. එම් චන්ද්‍රසේන මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (01) නියම කළා.

2014 වසරේ දී අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායි මිල ගණන් යටතේ බෙදාදීමට රුපියල් මිලියන 25ක මුදලක් වැයකර මිලදී ගනු ලැබූ බඩඉරිඟු බීජ, නීත්‍යානුකූල ක්‍රමවේදයට පටහැනිව එම වසරේ පැවැති ජනාධිපතිවරණයේදී තමන්ට වාසියක් අත්කර ගැනීමේ අරමුණින් තම හිතවතුන් හා ආධාරකරුවන් අතර බෙදාහැරීම තුළින් ‘දූෂණය’ නැමති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් ඔහු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියා.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කළා.

මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරිනිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළ විමර්ශන බොහෝ දුරට අවසන්ව ඇති බව සඳහන් කළා.

කෘෂිකර්ම නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබෙන බවත් ඒ අනුව සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියා.

මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරල මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ මෙම සැකකරු විමර්ශනවලට පූර්ණ සහාය ලබාදී ඇත බවත් සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කර ඇති බවට පැමිණිලි ඉදිරිපත් වී නොමැති බවත්ය.

මේ අනුව සැකකරු සුදුසු කොන්දේසි මත ඇප නියම කරන ලෙස ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරිය සැකකරු රුපියල් 50000ක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර දෙකක් මත මුදා හැරීමට ද නියම කළා.

ඊට අමතරව සැකකරුගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය, සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවද නියම කර තිබෙනවා.

ඉන් අනතුරුව මෙම නඩුව ලබන ජනවාරි මස 9 වනදා කැඳවීමට නියමිතයි.

Tags