දේශීය පුවත්
ශ්‍රී ලංකා ආර්ථික වර්ධනය 5%ක් දක්වා ඉහළට – IMF
ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය මේ වන විට 5%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජූලි කොසැක් මහත්මිය පවසයි.
ඇය මෙම අදහස් පල කළේ IMF මූලස්ථානයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
කොසැක් මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ආකර්ෂණීය ප්‍රගතියක් අත්කරගෙන ඇති බවත්, එය අඛණ්ඩව ඉදිරියට ගමන් කරමින් පවතින බවත්ය.
ඇය පවසුවේ, “උද්ධමනය අඩු මට්ටමක පවතින අතර රජයේ ආදායම් රැස්කිරීම වැඩි දියුණු වෙමින් පවතිනවා. එසේම ජාත්‍යන්තර සංචිත ද එකතු වෙමින් පවතිනවා. 2024 වසරෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 5% දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය කැපී පෙනෙන ජයග්‍රහණයක්,” යනුවෙන්.
ඇය තවදුරටත් සඳහන් කළේ, අයවැයේ ආදායම් හා දළ දේශීය නිෂ්පාදනයේ අනුපාතය 2022 දී පැවති 8.2% සිට 13.5% දක්වා වැඩි වී ඇති බවත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය බොහෝ දුරට සම්පූර්ණ වී ඇති බවත්ය.
IMF නියෝජිත කණ්ඩායම මේ වන විට ශ්‍රී ලංකා බලධාරීන් සමඟ විස්තීර්ණ අරමුදල් පහසුකමේ පස්වන සමාලෝචනය සඳහා සාකච්ඡා කරමින් සිටින බවද කොසැක් මහත්මිය පැවසීය.
