දේශීය පුවත්
පියුමි හංසමාලිට සහ තාඹුගලගෙන් කෝටි 48ක බදු පැහැර හැරීමක්
රජය බදු නොගෙවා පැහැර හැරීම පිළිබඳව පියුමි හංසමාලි සහ අවුරා ලංකා සමගාමේ සභාපති විරංජිත් තාඹුගල මහතාට එරෙහිව ඉදිරියේ දී කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදන ගොනු කිරීමට තීරණය කර තිබෙනවා.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ දිනේෂ් පෙරේරා මහතා ඊයේ (31) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසාන් අමරසේන මහතා හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ එම දෙදෙනාට එරෙහිව විමර්ශන වාර්තා නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවත් ඒ අනුව ඔවුන් දෙදෙනාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ඉදිරියේදී අධි චෝදනා ගොනු කිරීමට බලාපොරොත්තු වන බවත්ය.
2022 සහ 2023 වර්ෂවලට අදාළව පුද්ගල ආදායම් බද්ද නොගෙවීම වෙනුවෙන් රුපියල් මිලියන 194ක හා ලොලියා නැමැති සමාගමක් පවත්වාගෙන ගොස් මිලියන 95ක් ආදායම් බදු නොගෙවීම වෙනුවෙන් පියුමු හංසමාලිට එරෙහිව එම වර්ෂ දෙකට අදාළව රුපියල් මිලියන 194ක පුද්ගල ආදායම් බද්ද හා අතිරේක ආදායම් බද්ද දඩය හා පොලිය සමඟ නොගෙවීම වෙනුවෙන් ටී.ඒ.සී.වී. තාඹුගලට එරෙහිව මෙලෙස මහාධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන ඇති දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ පැවසුවා.
බදු අපරාධ වැරදිවලට අදාළ විමර්ශනවල ප්‍රගති වාර්තා ඊයේ අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී දිනේෂ් පෙරේරා ඒ බව අධිකරණයට දැන්වුවා.
ඔහු අධිකරණය හමුවේ කියා සිටියේ රජයට හිමි විය යුතු බදු නොගෙවීම මඟින් මෙම සැකකරුවන් දෙදෙනා සාවද්‍ය පරිහරණය යන වැරැද්ද සිදුකර ඇති බවයි.
තවද 2017 දේශීය ආදායම් පනතේ 186, 189, 190 වගන්ති ප්‍රකාරව සිදුකර ඇති බවට පැවැසෙන වැරදි පිළිබඳව සිදුකළ විමර්ශනවලට අදාළව වැඩිදුර වාර්තාවක් ද නීතිඥවරයා මෙහිදී අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
