සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ 5G යුගය ආරම්භ වෙයි

ශ්‍රී ලංකාව තුළ 5G තාක්ෂණය සඳහා අදාළ සංඛ්‍යාත වෙන්දේසි කිරීමේ ක්‍රියාවලිය (5G Spectrum Auction Process) විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් නිල වශයෙන් ආරම්භ කර ඇත.

මෙම අවස්ථාව සමරන අරමුණින් පසුගිය 03 වනදා පැවති මාධ්‍ය හමුවට ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති වරුණ ධනපාල, අධ්‍යක්ෂ ජනරාල් බන්දුල හේරත්, 5G වෙන්දේසි කමිටුවේ සභාපති ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන සහ අධ්‍යක්ෂ ශාන්ත ගුණානන්දන යන මහත්වරුන් සහභාගී විය.

අධ්‍යක්ෂ ජනරාල් බන්දුල හේරත් මහතා පැවසූ පරිදි, දෙසැම්බර් 03 වැනිදාට පෙර වෙන්දේසි ක්‍රියාවලිය අවසන් කිරීමට නියමිතය. මේ සඳහා ඩිජිටල් ජංගම දුරකතන සේවා බලපත්‍ර හිමි ඕනෑම ආයතනයකට TRCSL වෙබ් අඩවිය ඔස්සේ අයදුම් කළ හැකි අතර, අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය නොවැම්බර් 10 ලෙසත්, නාම ලේඛන ප්‍රකාශය නොවැම්බර් 12 වන දිනටත්, සුදුසුකම් ලත් ලංසුකරුවන් ලියාපදිංචි කිරීම නොවැම්බර් 21 වන දිනටත් සිදු කෙරෙනු ඇත.

මෙම වෙන්දේසිය යටතේ 3500MHz සහ 27GHz යන සංඛ්‍යාත පරාස දෙකක් සඳහා ලංසු තැබීමට අවස්ථාව තිබේ.

3500MHz පරාසය 5G ජංගම දුරකතන සේවා සඳහා,

27GHz පරාසය කාර්මික අවශ්‍යතා සඳහා යොදා ගැනීමට නියමිතය.

මෙම වෙන්දේසියෙන් අවම වශයෙන් රු. බිලියන 9ක ආදායමක් රජයට ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. සියලු ආදායම මහා භාණ්ඩාගාරයට බැර කිරීමට නියමිතය.

5G වෙන්දේසි කමිටුවේ සභාපති ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව තහවුරු කිරීම සඳහා තම සභාපතිත්වයෙන් යුත් පස් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බවය. දෙසැම්බර් 02 වනදා ආදර්ශ වෙන්දේසියක් (Mock Auction) පැවැත්වීමට ද සැලසුම් කර ඇති අතර, ප්‍රධාන වෙන්දේසිය දිනයේදී “Clock Stage” සහ “Frequency Identification Stage” යන අදියර දෙකකින් එය ක්‍රියාත්මක වනු ඇත.

ගෙවීම් ක්‍රමවේද දෙකක්ද හඳුන්වා දී ඇති අතර,
දින 10ක් ඇතුළත සම්පූර්ණ මුදල ගෙවන්නේ නම් 10% වට්ටමක්,
නැතහොත් 10%ක මුල් ගෙවීමක් පසුව වසර 4ක් පුරා වාර්ෂික වාරික 15%, 20%, 25% සහ 30% ලෙස ගෙවිය හැක.

කොළඹ සහ අවට ප්‍රදේශවල දැනටමත් 5G අත්හදා බලන සමාගම්වලට දෙසැම්බර් 03 වැනිදා සිට නිල වශයෙන් සේවාව ආරම්භ කිරීමට ඉඩ ඇත. 3500MHz සංඛ්‍යාත ලබාගන්නා සමාගම්වලට අවසන් වශයෙන් වසර 5ක් ඇතුළත,

මහ නගර සභා බල ප්‍රදේශවලින් 80%,

නගර සභා බල ප්‍රදේශවලින් 60%,

ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලින් 30% ආවරණය කිරීමේ වගකීම පනවා ඇත.

අධ්‍යක්ෂ ශාන්ත ගුණානන්දන මහතා සඳහන් කළේ, 5G තාක්ෂණය ආරම්භ වීම ශ්‍රී ලංකාව නව ඩිජිටල් යුගයකට පියනැඟීමක් බවයි. නව 5G උපකරණ ස්ථාපිත වීමත් සමඟ, 4G උපකරණ ග්‍රාමීය ප්‍රදේශවලට යොමු කර එම ප්‍රදේශවල ජාල ආවරණය වැඩිදියුණු කිරීමට හැකි වනු ඇත. එමෙන්ම නිදහස් වන සංඛ්‍යාත කිහිපයක් ඩිජිටල් රූපවාහිනී විකාශන සේවා සඳහා යොදා ගැනීමේ හැකියාවද පවතින බව ඔහු පැවසීය.

Tags