සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය හෙට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක

රජයේ රෝහල් සියල්ලේම හෙට (25) උදෑසන 8 සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

දුෂ්කර පළාත්වල රෝහල් වැසී යාමේ අවධානම, ප්‍රමිතියෙන් යුතු ඖෂධ සහ උපකරණ රෝහල්වලට ලබා නොදීම හරහා නිදහස් සෞඛ්‍ය බිඳ වැටීමේ අවදානම, රෝගීන්ට හිඟ ඖෂධ මිලදී ගැනීම සඳහා රජයෙන් එල්ල කර ඇති සෘජු බලපෑම ආදී කරුණු සැලකිල්ලට ගනිමින් මෙම වැඩ වර්ජනය ඔවුන් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ අවිධිමත්, අකාර්යක්ෂම, විනිවිධ භාවයකින් තොර ක්‍රියාවලින් හරහා වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලිය ද, වෛද්‍යවරුන් දුෂ්කර පළාත්වලට අනුයුක්ත කිරීමේ ක්‍රියාවලිය ද මේ වන විට සම්පුර්ණයෙන්ම බිඳ වැටී ඇති බවයි.

මේ හේතුවෙන් රටපුරා රෝහල් 200කට ආසන්න ප්‍රමාණයක් වැසී යාමේ අවධානමට මුහුණ පා ඇති බවත් අනෙක් රෝහල්වලත් වෛද්‍යවරුන් හිඟ වීම හරහා යම් ඒකකවල කටයුතු අඩාල වීමේ අවධානමක් මතුව ඇති බවත් එම නිවේදනයේ තවදුරටත් සඳහන් වනවා.

ඔවුන් නිකුත් කළ නිවේදනයෙන් පෙන්වා දෙන්නේ මෙම වර්ජනය කිරීමට හේතුව වැටුප් දීමනා හෝ පහසුකම් ඉල්ලීම් කරමින් නොවන බවත් ලංකවේ රෝහල් සමූහයේ සහ නිදහස් සෞඛ්‍ය සේවාවේ බිඳ වැටීම වළක්වා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශයට බල කරමින් සිටින බවත්ය.

මහජනතාව වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොන්දේසි විරහිතව පෙනී සිටින මොහොතක පවතින රජය යටතේ පාලනය යම් රාජ්‍ය මාධ්‍ය විසින් වගකීම් විරහිත ලෙස මඩ ප්‍රචාර සහ ජනතාව නොමඟ යවන සුළු ප්‍රචාරයන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය කරන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

තම සංගමයේ ලිපි ශීර්ෂය නීති විරෝධී ලෙස භාවිතා කරමින් සහ ලේකම්තුමාගේ අත්සන අවභාවිතා කරමින් කූඨ ලේඛන සකසා සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

සිය නිවේදනයෙන් එම සංගමය වැඩිදුරටත් සඳහන් කරන්නේ එම නීතිවිරෝධි ක්‍රියාවන් සහ අවභාවිතාවන් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමටත්, මේ සම්බන්ධයෙන් නීති මාර්ගයෙන් කටයුතු කිරීමටත් ඔවුන් බලාපොරොත්තු වන බවයි.

Tags