දේශීය පුවත්
මුදල් අමාත්‍යාංශයේ නව ලේකම් වැඩ භාර ගනී
මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ ආචාර්ය හර්ෂණ සුරියප්පෙරුම මහතා අද (23) පෙරවරුවේ වැඩ භාර ගනු ලැබුවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්ය හර්ෂණ සුරියප්පෙරුම මහතා පත් කළ අතර ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා වෙත භාර දෙනු ලැබුවා.
මුදල් අමාත්‍යාංශයේ යටතේ ඇති ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂකවරයකු ඔහු වසර ගණනාවක් ප්‍රාග්ධන වෙළෙඳපොල නියාමනයට මැදිහත් වුණා.
මෙහිදී ලෝක බැංකුවේ පහසුවෙන් ව්‍යාපාරකරණයට අදාළ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලට අනුව සුළු පරිමාණ ආයෝජකයින්ගේ රැකවරණය පිළිබඳව ශ්‍රේණිගත කිරීමෙහි ශ්‍රී ලංකාව 74 වන ස්ථානයේ සිට 28 වන ස්ථානය දක්වා ඉහළට ගෙන ඒමට ද සමත් වුණා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය (MBA) ලබා ඇති ඔහු මැලේසියාවේ කළමනාකරණ හා විද්‍යා විශ්වවිද්‍යාලයෙහි (Management and Science University) ආචාර්ය උපාධිධාරියකුද වනවා.
ඒ මහතා එක්සත් රාජධානියේ, කළමනාකරණ ගණකාධිකාරීන්ගේ වරලත් ආයතනය (CIMA) සහ වරලත් සහතිකලත් ගණකාධිකාරි සංගමයේ (ACCA) සාමාජිකයෙක් ද වනවා.
ඔහු මුල්‍ය විශුද්ධිකරණයට එරෙහි කාර්ය සාධක බලකායේ සාමාජිකයෙකු ලෙස ප්‍රාග්ධන වෙළෙඳපොළ නියෝජනය කරමින් කටයුතු කර ඇති අතර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ලැයිස්තුගත කිරීම් සඳහා වන ප්‍රතිපත්තිද ඇතුළුව මූල්‍ය ක්ෂේත්‍රය තුළ දැනට ක්‍රියාත්මක වන ප්‍රතිපත්ති සකස් කිරීමටද දායක වී තිබෙනවා.
