සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

නව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට ජනපති මුල්ගල තබයි

යෝජිත යාපනය නව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මුල්ගල තබා තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දුන්නේ ඉන්පසුව එම ස්ථානයේ පැවැත්වෙන ජන හමුවක් සඳහා ද ජනාධිපතිවරයා එක්වනු ඇති බවයි.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) යාපනයේ නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ ආරම්භ කිරීමේ සහ විවෘත කිරීමේ අවස්ථාව කිහිපයකට ද සහභාගී වී තිබුණා.

යාපනය, මයිලිඩ්ඩි ධීවර වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ තුන්වන අදියර ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ තවදුරටත් රට තුළ යුද අනතුරක් නොමැති බවයි.

මයිලිඩ්ඩි ධීවර වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ තුන්වන අදියර සංකේතාත්මකව ආරම්භ කිරීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු වුණා.

මෙම ව්‍යාපෘතිය යටතේ උතුරු පළාතේ ධීවර ප්‍රජාවට මෙන්ම, නැගෙනහිර සහ දකුණු පළාත්වල සිට පැමිණෙන ධීවර බෝට්ටු සඳහාද ජලය, විදුලිය, ඉන්ධන ආදී අත්‍යවශ්‍ය පහසුකම්, ශීතාගාර පහසුකම්, දැල් සැකසීමේ මධ්‍යස්ථාන පහසුකම්, වෙන්දේසි ශාලා පහසුකම් සහ ගුවන් විදුලි පණිවිඩ හුවමාරු මධ්‍යස්ථාන පහසුකම්ද සලසා දීමට සැලසුම් කර තිබේ. මේ සඳහා රජය මේ වසරේ වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 298කි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා, “යුද්ධයක් එයි කියලා විනාශකාරී හැඟීමකින් අපි ඒ ඉඩම් තබා ගත යුතු නෑ. අපේ ආණ්ඩුව වැඩකරන්නේ යුද්ධය එන එක නවත්වන්න. සමහර ආණ්ඩු සැලසුම් කළේ යුද්ධය එනවා කියලා හිතලා ඉඩම් තියාගෙන ඉන්න. ඒ නිසා නිදහස් කළ හැකි සෑම පාරක්ම, නිදහස් කළ හැකි සෑම ඉඩමක්ම අපි ජනතාවට ලබාදීමට කටයුතු කරනවා. ඒ වගේම උතුරේ ජනතාවගේ ප්‍රධාන ආදායම් මාර්ගය තමා ධීවර රස්සාව . ඒ ජනතාවට අවශ්‍ය පහසුකම් සැපයීම රජයේ වගකීමක්. ඒ අනුව තමා මේ ධීවර වරායේ තුන්වන අදියර සංවර්ධනය කිරීමට අපි සැලසුම් කළේ. ඒ ජනතාව අවශ්‍ය ආම්පන්න සහනාධාර මිලකට ලබාදෙන්න කටයුතු කරනවා. ධීවර ජනතාව මුහුණදී සිටින ආක්‍රමණිකයින්ගෙන් මුදවා ගන්නත් අවධානය යොමු කරනවා.

විශේෂයෙන්ම අපේ ධීවර ජනතාවට වැදගත් තැනක් තමා කච්චතිව් දූපත. අද විශාල සංවාදයක් කච්චතිව් දූපත කේන්ද්‍ර කරගෙන ගොඩ නැගී තිබෙනවා. මම හවසට එතැනට ගිහින් ඒ ධීවරයින් හමුවෙන්න බලාපොරොත්තු වෙනවා. අපේ භූමිය දුපතක් ද ? මහ මුහුද ද? අහස ද? ගොඩබිමද? ආරක්ෂා කිරීම මතු පරපුරට ආරක්ෂා කර ලබාදීම අපේ වගකීම. එය ඉටු කිරීමට අපි බැඳී සිටිනවා. අපේ මුහුද අපේ ජනතාව වෙනුවෙන්, අපේ ගොඩබිම අපේ ජනතාව වෙනුවෙන්, අපේ අහස අපේ ජනතාව වෙනුවෙන් කිසිදු බලපෑමකට යටත් නොවෙන බව ඔබට කියන්න කැමතියි.”

Tags