සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

තහනම් පිරමීඩ ගැන ජනතාව දැනුවත් කරන වැඩසටහන අද සිට ඇරඹේ

තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (14) සිට ආරම්භ වනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ මෙම වැඩසටහන සතියක කාලයක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

රට තුළ තහනම් පිරමීඩ යෝජනා ක්‍රමවල වර්ධනයක් දක්නට ලැබෙන බැවින් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළා.

“අද වනවිට පිරමීඩ යෝජනා ක්‍රමවල ව්‍යාප්තියේ වැඩිවීමක් දක්නට ලැබෙනවා. මීට හේතුවෙලා තියෙන්නේ බොහෝ දෙනෙකුගේ නොදැනුවත්භාවය. මේ නිසා ශ්‍රී ලංකා මහ බැංකුව, අධ්‍යාපන අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදා මුලස්ථාන සහ මහජන ආරක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතනවල සහාය ඇතුව මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය කාර්යාල හරහා පිරමීඩ යෝජනා ක්‍රම මැඩ පැවැත්වීමට දැනුවත් කිරීමේ සතියක් පැවැත්වීමට කටයුතු කරලා තියෙනවා. ඒ වැඩසටහන් සමග සම්බන්ධ වෙලා පිරමීඩ යෝජනා ක්‍රමවල අනිසි ප්‍රතිඵල ගැන දැනුවත් වෙන්න. ඒ වගේම අනෙකුත් අය පිරමීඩ යෝජනා ක්‍රමවලින් වැළැක්වීමට දැනුවත් කරන්න. මේ හා සමානව අනවසර තැන්පතු භාරගන්නා ආයතන විශේෂයෙන් වගා ආයෝජන, ක්‍රිප්ටො ආයතන හා අධ්‍යාපන ව්‍යාපෘති වැනි අනවසර තැන්පතු භාරගන්නා ආයතනවල වර්ධනයක් ද මේ දිනවල දක්නට ලැබෙනවා. රටක් වශයෙන් පිරමීඩ යෝජනා ක්‍රම මෙන්ම විවිධ ආයෝජන මුවාවෙන් අනවසර තැන්පතු භාරගන්නා ජාවාරම්කරුවන්ගෙන් මෙරටින් මුළුමනින්ම තුරන් කිරීමට ඔබගේ සහයෝගය අපේක්ෂා කරනවා.”

Tags