දේශීය පුවත්
අමෙරිකානු තීරු බදු අඩු කරගැනීම ගැන අවසන් එකඟතාවයක් නෑ – ජනාධිපති
අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර බදු ප්‍රතිපත්තිය පිළිබඳව කිසිඳු අවසන් එකඟතාවයක් ගෙන නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අතරතුර පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා සභාව අමතමින්.
මේ සඳහා ගිවිසුමකට එළැඹ නොමැති බවද ඔහු මෙහිදී පැවසුවා.
ජනාධිපතිවරයා සඳහන් කරන්නේ අමෙරිකාව ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ මත පැනවූ අනෝන්‍ය තීරු බදු ප්‍රතිශතය 20% දක්වා අඩුකර ගැනීමට සමත් වූ බවත් එය ඉදිරියේ දී තවදුරටත් අඩු කර ගැනීමට සාකච්ඡා කරමින් සිටින බවත්ය.
“අපේ වෙළෙඳ පරතරය මත තමයි අපිට 44%ක් ලැබෙන්නේ. ඒක තමයි ඔවුන්ගේ මූලධර්මය. එය 44% – 20% දක්වා අඩුකර ගැනීම සාකච්ඡා සහ ඔවුන් සහ අප අතර තිබෙන එකඟතාවයේ වැදගත් ප්‍රතිඵලයක් ලෙස අපි කල්පනා කරනවා. ඒ ගැන හැම තීන්දුවක් ගැනීමේ දීම සමහර HS CODE ප්‍රමාණයක් ඔවුන්ට නිදහස් කළ යුතුව තිබෙනවා. ඊට බලපාන කර්මාන්තකරුවන්, ව්‍යවසායකයින් එක්ක අපි සාකච්ඡා කළා. අපි යම් කේෂ්ත්‍රයක් විවෘත කිරීම ගැන සාකච්ඡා කරන්නේ නම් ඊට අදාළ පාර්ශවකරුවන් ගෙනල්ලා සිදුවන බලපෑම ගැන නිරන්තරයෙන් කතා කරමින් තමා අපේ කණ්ඩායම මේ සාර්ථකත්වයට පත්වුණේ. එහෙම නැතුව කාමරයක් ඇතුළේ කරන කුමන්ත්‍රණයක් විදියට නෙමෙයි.
ඒ නිසා මෙයට සහභාගී කරගත හැකි සෑම පාර්ශවකරුවෙක්ම සහභාගී කරවා ගන්න අපි වගකිව යුතු ලෙස අපි කටයුතු කළා. ඒ නිසා එක්සත් ජනපදයේ බදු ප්‍රතිපත්තිය මත ඔබතුමන්ලා බලාපොරොත්තු වුණා නම් ආර්ථිකයේ බිඳවැටීමක් ඒකත් දැන් අවසන්. තාමත් අවසන් එකඟතාවයක් නෑ. අපිට 20%ක් තිබුණා. අපි තාමත් උත්සාහ දරනවා ඒ 20%ත් අඩු කරගන්න පුළුවන් ද කියලා සාකච්ඡා අපි ආරම්භ කරලා තියෙනවා. ඒක තමා රට පැත්තෙන් අපි ගත යුතු තීරණය.”
