දේශීය පුවත්
දෙහිවල සත්වෝද්‍යානයෙන් පරෙවියන් තිස් දෙදෙනෙකු සොරකම් කරයි
දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙන් පරෙවියන් තිස් දෙදෙනෙකු සොරකම් කර ඇති බව එහි පාලනාධිකාරිය පවසයි.
සත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හේමන්ත සමරසේකර මහතා සඳහන් කළේ, මෙම සොරකම සම්බන්ධයෙන් දෙහිවල පොලිසියට දැනටමත් පැමිණිලි කර ඇති බවයි.
ඔහු පැවසුවේ, මෙම සිද්ධිය සිදුවී ඇත්තේ පසුගිය සිකුරාදා රාත්‍රී කාලයේදී හෝ සෙනසුරාදා අලුයම් කාලයේදී බවට සැක පවතින බවයි. සතුන් රඳවා සිටි කූඩුවක් කඩා මෙම පරෙවියන් සොරකම් කරගෙන ගොස් ඇති බව ද වාර්තා වේ.
මෙම පරෙවියන් අධිකරණ නියෝග යටතේ විවිධ නඩු භාණ්ඩ ලෙස සත්වෝද්‍යානයේ රඳවා සිටි බවත්, එම සතුන් නඩු සාක්ෂි ලෙස සත්වෝද්‍යානයේ විශේෂ ආරක්ෂාව යටතේ තිබූ බවත් පාලක පාර්ශවය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ගයක් ලෙස එම සතුන් රඳවා තිබූ අංශය භාරව කටයුතු කළ නිලධාරියාගේ සේවා තාවකාලිකව අත්හිටුවා ඇති බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂ හේමන්ත සමරසේකර මහතා තවත් සඳහන් කළේය.
කෙසේ වෙතත්, මේ වන විට මෙම සොරකමට සම්බන්ධ පුද්ගලයෙකු හෝ සොරාගත් පරෙවියන් පිළිබඳව කිසිදු තොරතුරක් හමුවී නොමැති බව දෙහිවල පොලිසිය පවසයි.
මෙම සොරකම සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද තවදුරටත් වාර්තා වේ.
