සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

LGBTQ සංචාරකයින් ඉලක්ක කරගත් ප්‍රවර්ධන වැඩසටහනක් ගැන තීරණයක් ගෙන නොමැති බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය කියයි

LGBTQ විදේශීය සංචාරකයින් ඉලක්ක කරගත් විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය නිල නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේය.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, එවැනි වැඩසටහනක් සඳහා යෝජනාවක් සලකා බැලීම සඳහා ඉදිරිපත්වූ අනෙකුත් යෝජනා අතර එකක් පමණක් වූ බවයි. ශ්‍රී ලංකාව සියලු තරාතිරම්වල සංචාරකයින් උණුසුම් ලෙස පිළිගන්නා සංචාරක ගමනාන්තයක් බව අවධාරණය කළ කාර්යාංශය, LGBTQ ප්‍රජාව ඇතුළු සෑම ප්‍රජාවක්ම සමාජයේ වටිනා සහ ගෞරවනීය කොටසක් ලෙස පිළිගන්නා බව තහවුරු කළේය. රටේ සංචාරක උරුමය ගොඩනගී ඇත්තේ ජනතාවගේ සුහදශීලීත්වය, සංස්කෘතියේ පොහොසත්කම සහ භූ දර්ශනවල සුන්දරත්වය මත බවද නිවේදනයේ සඳහන් වෙයි.

අදහස් දැක්වූ කාර්යාංශය වැඩිදුරටත් පැහැදිලි කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන වගන්තිය සහ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු අනුව ජාතිය, ආගම, ස්ත්‍රී පුරුෂ භාවය හෝ ලිංගික දිශානතිය නොසලකා සියලු ශ්‍රී ලාංකිකයින්ට හා විදේශීය සංචාරකයින්ට සමානාත්මතාවය සහතික කිරීමට රජය කැපවී සිටින බවයි. කෙසේ වෙතත්, සියලු ප්‍රජාවන්ගේ පුද්ගලික අනන්‍යතාවයට ගරු කිරීම, කිසියම් විශේෂිත ලිංගික හැසිරීමක් හෝ ක්‍රියාකාරකමක් අනුමත කිරීමක් හෝ ප්‍රවර්ධනය කිරීමක් ලෙස වරදවා තේරුම් ගත නොකළ යුතු බවද කාර්යාංශය අවධාරණය කළේය.

ඉදිරිපත් වූ යෝජනාව ගෝලීය මට්ටමේ විවිධ පාර්ශ්ව සමග සම්බන්ධතා ගොඩනගා ගැනීමේ එක් ප්‍රයත්නයක් පමණක් වන අතර, එය රජයේ සමස්ත සංචාරක ප්‍රතිපත්තියේ උපායමාර්ගික වෙනසක් පෙන්නුම් නොකරන බවද නිවේදනය මගින් පැහැදිලි කරන ලදී.

Tags