දේශීය පුවත්
වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ ජිනීවා UNCTAD සමුළුවට සහභාගී වීමට සූදානම්
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා, ලෝක වෙළෙඳ සංවිධානයේ (WTO) ශ්‍රී ලංකාවේ වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනය (TPR) සහ එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධනය පිළිබඳ 16 වන සැසිවාරය (UNCTAD XVI) සඳහා සහභාගී වීමට නියමිත බව අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම සමුළුව ඔක්තෝබර් 15 සිට 20 දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන අතර, අමාත්‍යවරයා සමඟ ශ්‍රී ලංකා දූත පිරිසක්ද සහභාගී වනු ඇත.
නව රජය බලයට පත් වූ පසු පළමු වරට පැවැත්වෙන මෙම වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනය, ශ්‍රී ලංකාවේ වෙළෙඳ ප්‍රතිපත්ති රාමු පිළිබඳ සාකච්ඡා කිරීම සහ ඒවායේ විනිවිඳුභාවය තහවුරු කිරීමේ අරමුණින් පවත්වානු ලබයි. එහිදී ශ්‍රී ලංකාවේ වෙළෙඳ ප්‍රතිපත්ති සහ ආර්ථික ප්‍රගතිය පිළිබඳව WTO සාමාජික රටවල් සමඟ සංවාදයක් ද සිදු වනු ඇත.
අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාව ආර්ථික ප්‍රතිසංස්කරණ සහ අපනයන වර්ධනය කෙරෙහි අවධානය යොමු කරන අවස්ථාවක මෙම සමාලෝචනය පැවැත්වීම, දේශීය ආර්ථික ප්‍රගතිය හා ධනාත්මක පියවර පැහැදිලි කිරීමට වැදගත් වේ යනුවෙනි.
එසේම, අමාත්‍යවරයා UNCTAD 16 වන අමාත්‍ය මණ්ඩල සමුළුවටද සහභාගී වීමට නියමිත අතර, එය එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් අතර වෙළෙඳ හා සංවර්ධන ගැටලු සම්බන්ධයෙන් තීරණ ගන්නා ඉහළම වේදිකාවකි.
මෙවර සමුළුව “අනාගතය හැඩගැස්වීම: සාධාරණ, සහයෝගීත්ව තිරසාර සංවර්ධනයක් උදෙසා ආර්ථික පරිවර්තනයක්” යන තේමාව යටතේ පවත්වනු ලැබෙන අතර, ඉදිරි වසර හතර සඳහා UNCTAD හි කාර්යයන් සහ වගකීම් ද මෙහිදී නියම කෙරේ.
අමාත්‍යවරයාගේ ජිනීවා සංචාරය අතරතුර, ලෝක වෙළෙඳ සංවිධානයේ සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරුන්, ලෝක ආර්ථික සංසදය සහ ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, එසේම ජිනීවාහි වාණිජ මණ්ඩල නියෝජිතයින් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකටද සහභාගී වීමට නියමිත බව අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කරයි.
