දේශීය පුවත්
LPL තරගයක පාවාදීමට උත්සාහ කළ බවට චෝදනා ලැබූ දඹුල්ල තණ්ඩර්ස් හිමිකරුට කොළඹ මහාධිකරණයෙන් අධි චෝදනා පනවයි
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියකදී ක්‍රීඩකයෙකුට තරගය පාවාදීමට බලපෑම් කළ බවට චෝදනා ලැබූ දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු තමීම් රහමන් මහතාට විරුද්ධ අධි චෝදනා අද කොළඹ මහාධිකරණයේදී ඉදිරිපත් කර ඇත.
නඩුව විභාගයට කැඳවනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේය.
අධි චෝදනා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, විත්තිකරු රුපියල් ලක්ෂ 2ක මුදල් ඇපයකින් සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය.
විත්තිකරු වෙනුවෙන් නීතිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණය හමුවේ න්‍යාය පත් කරමින් පවසා සිටියේ, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ විත්තිකරු පසුව ඇප මත මුදාහැරුණා බවයි.
ඔහු වැඩිදුරටත් පැවසුවේ, විත්තිකරු බංග්ලාදේශ ජාතිකයෙකු වන අතර බ්‍රිතාන්‍ය පුරවැසිභාවයද ලබා ඇති අයෙකි. එම නඩුව හේතුවෙන් වසර එකහමාරකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට සිදුවීම ඔහුගේ පවුල් කටයුතු හා ව්‍යාපාරික කටයුතු බාධා කර ඇති බවයි.
ඒ අනුව, විත්තිකරු මෙම චෝදනාවලට වරද පිළිගෙන නඩුව කෙටියෙන් නිමා කිරීමට සූදානම් බවත්, එ සඳහා නීතිපතිවරයා වෙත වාචිකව හා ලිඛිතව කරුණු ඉදිරිපත් කර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
එසේම, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය පැවසුවේ, විත්තිකරු ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අවසන් ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා දිනයක් ලබාදිය යුතු බවයි.
අධිකරණය එම ඉල්ලීම පිළිගෙන නඩුව දෙසැම්බර් මස 8 වැනිදාට නැවත කැඳවීමට නියෝග කළේය.
