රජයේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන යටතේ දිවයින පුරා අපද්‍රව්‍ය කළමනාකරණය විධිමත් කිරීමේ අරමුණින් වාරියපොළ ප්‍රදේශයේ නව ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානයක් (MRF) ඉදිකිරීමේ කටයුතු ඊයේ (10) ආරම්භ කරන ලදී.
වාරියපොළ ප්‍රාදේශීය සභාවට අයත් ඉඩමක ඉදිකිරීමට නියමිත මෙම මධ්‍යස්ථානය සඳහා රුපියල් මිලියන 33ක මුදලක් වැය වන අතර, ප්ලාස්ටික්, පොලිතීන් සහ අනෙකුත් අබලි ද්‍රව්‍ය විධිමත්ව එකතු කර ප්‍රතිචක්‍රීකරණයට යොමු කිරීම එහි අරමුණයි.
“ක්ලීන් ශ්‍රී ලංකා” ලේකම් කාර්යාලය හා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතියෙන් රටේ අපද්‍රව්‍ය ගැටලුවට තිරසාර විසඳුමක් ලබා දීමට කටයුතු යෙදේ.
මෙම මධ්‍යස්ථානය මඟින් කසළ රඳවන වෙත යොමු වන අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු කිරීම, පරිසර දූෂණය අවම කිරීම හා ප්‍රදේශවාසීන්ට ‘හරිත රැකියා’ අවස්ථා උදා කිරීම අපේක්ෂා කෙරේ.
දිවයින පුරා මධ්‍යස්ථාන 58ක් ඉදිකිරීමට මේ යටතේ සැලසුම් ඇති අතර, එමගින් පළමු මධ්‍යස්ථානය මඩකළපුව කාත්තන්කුඩි ප්‍රදේශයේදී ආරම්භ කර තිබේ. තලාව සහ තංගල්ල ප්‍රදේශවල ද නව මධ්‍යස්ථාන ඉදිකිරීමට නියමිතය.
ඊයේ පැවති උත්සවයට නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව දිසානායක, වාරියපොළ ප්‍රාදේශීය සභා සභාපති ජී.ජේ.එස්. කුමාරසිංහ සහ “ක්ලීන් ශ්‍රී ලංකා” ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
