දේශීය පුවත්
බැකෝ සමන්ගේ මවගේ ඝාතනය කරන්දෙණියෙ සුද්දාගේ වැඩක්ද?
‘බැකෝ සමන්’ගේ මව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය, ගණේමුල්ලේ සංජීව ඝාතනයට පළිගැනීමක් ලෙස විදෙස්ගතව සැඟව සිටින ‘කරන්දෙණියේ සුද්දා’ගේ පාර්ශ්වය විසින් සිදුකරන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.
මිද්දෙණිය, උලහිටියාව, පදලන්ගල ගෙදර ප්‍රදේශයේදී ඊයේ (12) පස්වරුවේ නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබූ අතර, මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියකින් ඇයගේ පපු ප්‍රදේශයට වෙඩි ප්‍රහාර 7ක් පමණ එල්ල කර තිබේ.
බරපතළ තුවාල ලැබූ කාන්තාව මිද්දෙණිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
වෙඩි තැබීමෙන් අනතුරුව සැකකරුවන් පලාගොස් ඇති අතර, ඔවුන් පැමිණි යතුරුපැදිය අද උදෑසන මාතර, දම්පහළ, පොල්වත්ත ප්‍රදේශයේ දමාගොස් තිබියදී ඌරුබොක්ක පොලීසිය විසින් සොයාගෙන තිබේ.
වෙඩි තැබීමේ සිද්ධිය සීසීටීවී කැමරාවකද සටහන් වී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
කෙහෙල්බද්දර පද්මේ සමඟ බැකෝ සමන් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත්වීමෙන් පසු, ගණේමුල්ලේ සංජීව ඝාතනයට ඔහුගේ සහාය ලැබී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබූ බවද පොලීසිය සඳහන් කරයි.
එමෙන්ම ‘කජ්ජා’ නමැත්තා සහ ඔහුගේ දරු දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද බැකෝ සමන්ට චෝදනා එල්ල වී තිබේ.
