දේශීය පුවත්
කළු ගඟේ ජල මට්ටම ඉහළට
පවතින අධික වර්ෂාපතනයන් හමුවේ දිවයිනේ ජලාශ කිහිපයක ජල මට්ටම තවදුරටත් ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව, ගාල්ල, මාතර, කළුතර, කොළඹ, නුවර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට දැඩි වර්ෂාපතනයක් ලැබී ඇති අතර, කැලණි, අත්තනගලු, ගිං සහ බෙන්තර ගඟ ආශ්‍රිතව මිලිමීටර් 50ට ආසන්න වර්ෂාපතනයක් වාර්තා වී ඇත.
දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මෙම වර්ෂාපතනය හේතුවෙන් කළු ගඟේ ජල මට්ටම දැඩි ලෙස ඉහළ ගොස් ඇති බවත්, වැඩිම බලපෑම එම ගග ආශ්‍රිත ප්‍රදේශවලට බවත් ය. එහි ප්‍රතිඵලයක් ලෙස රත්නපුර, මිල්ලකන්ද සහ ඇල්ලගාව ප්‍රදේශවල ජල මට්ටම් වැඩිවීමක් දක්නට ලැබුණු නමුත්, පවතින තත්ත්වය අනුව ගංවතුර තත්ත්වයක් ඇතිවීම අපේක්ෂා නොකරන බවද වාර්තා වේ. කෙසේ නමුත්, ඉදිරියේදී තවත් දැඩි වර්ෂාපතනයක් ලැබුණහොත් ගංවතුර අවදානමක් පවතින බවත්, කළු ගඟ ආශ්‍රිතව පදිංචි ජනතාව අවධානයෙන් සිටිය යුතු බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
එමෙන්ම කැලණි ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව පදිංචි ජනතාවද විශේෂ සැලකිල්ලෙන් සිටිය යුතු බවද, ඉදිරියේදී ලැබෙන වර්ෂාපතනයන් අනුව එම ප්‍රදේශවල ගංවතුර තත්ත්වයන් ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව එල්ල කරයි.
