සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

නීතියට උඩින් කිසිවෙකුටත් ඉන්න අපි ඉඩ තියෙන්නේ නැහැ – ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල

ඉන්දුනීසියාවේ දී සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් අනතුරුව අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් ඉදිරි දින දෙක තුළ මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (28) උදෑසන පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.

වත්මන් රජය ජනතාවට පොරොන්දු වූ පරිදි නීතිය පසඳලීමේ ආයතනවල ස්වාධීනත්වය ඇති කර ඇති බවද ඔහු මෙහිදී පැවසුවා.

ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේ මේ අනුව සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් අත්අඩංගුවට ගත් බවත් එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ඉන්දුනීසියාවේ පොලීසිය එක්ව සිදුකළ දින 7ක ඒකාබද්ධ මෙහෙයුමක ප්‍රතිඵලයක් බවත්ය.

එම මෙහෙයුම සඳහා ඉන්දියානු බුද්ධි අංශවල සහාය ද හිමි වූ බවද අමාත්‍යවරයා කියා සිටියා.

ඔහු සඳහන් කළේ මේ අනුව සැලැස්ම ක්‍රියාත්මක කළ බවත් මේ වන විට අඩපණ වී තිබූ බුද්ධි අංශයේ යම් යම් කොටස් සක්‍රීය වී ඇති බවත්ය.

බොහෝ අවස්ථාවලදී සංවිධානාත්මක අපරාධ වර්ධනය වුයේ දේශපාලනඥයින්ගේ ආශීර්වාදයෙන් බවත් එම පිරිසගේ පැවැත්ම සහ බලය රඳවා ගැනීමට සංවිධානාත්මක අපරාධකරුවන් පෝෂණය කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ වත්මන් ආණ්ඩුව බලයට පැමිණි පසු රජයක් ලෙස ඒ සියල්ල නතර කර ඇති බවත්, මේ වනවිට සංවිධානාත්මක අපරාධකරුවන්ව නිර්මාණය කළ දේශපාලනඥයින් හා ඔවුන්ගේ සබඳතා පිළිබඳ සුපරික්ෂාකාරීව සොයා බලමින් සිටින බවත්ය.

“නීතියට උඩින් කිසිවක් නෑ. කිසිදු තරතිරමක් නීතිය ඉදිරියේ අපිට අදාළ නෑ. නීතිය ඉදිරියේ සියලුදෙනා එක හා සමානයි. මේ සමාජයට අපි ඒක භාවිතයක් විදියට ගේනවා. නීතියට උඩින් කිසිවෙකුටත් ඉන්න අපි ඉඩ තියෙන්නේ නෑ. ඒ ගැන අපි සමාජයට අවධාරණය කරනවා. අපේ තියෙන දේශපාලන උවමනාව තමා රටට යුක්තිය, සාධාරණත්වය ලබාදීම. ඒ වගේම නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීම හා නීතිය සැමට සමානයි යන පණිවුඩය සමාජයට ලබාදීම. ප්‍රමිතිගත සමාජයක් බවට පත්කර ගැනීම තුළින් තමා අපි සියලුදෙනාට සතුටින් ජීවිත් විය හැකි වන්නේ. ඒ නිසා අපි පොරොන්දු වු පරිදිම පොහොසත් රටක් ලස්සන ජීවිතයක් සමාජයට ලබාදීමේ කර්තව්‍යයේ නියැලෙනවා. ඒ කරුණු අතර අපිට සුවිශේෂි වෙනවා සංවිධානාත්මක අපරාධකරුවන් නීතියට කොටු කරගැනීම. මේ වෙනවිට 75කට ආසන්න ප්‍රමාණයකට රතු වරෙන්තු නිකුත් කරලා තියෙනවා. එයින් 20 අධික ප්‍රමාණයක් ලංකාවට අරන් ඇවිත් තියෙනවා. ඔවුන්ට නීතිය ක්‍රියාත්මක වෙමින් තියෙනවා. දැනට ඉන්දුනීසියාව භාරයේ ඉන්න අයව මෙරටට ගෙන්වීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතිනවා. ඔවුන්ව මෙරටට ගෙන ආ පසු ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. ඒ නිසා අපි පාතාලය වේවා, දේශපාලනඥයින් වේවා, පොලීසිය වේවා, නිලධාරීන් වේවා සියලුදෙනාට නීතිය යටත්, නීතිය ක්‍රියාත්මක රටක් බවට අපි පත්කරනවා. බලය භාවිත කරමින් සමාජයේ හැසිරීමට අපි ඉඩදෙන්නේ නෑ”

Tags