දේශීය පුවත්
දරුවන්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන් බටහිර නීති ලංකාවට ගැලපෙන්නේ නෑ – කාදිනල් හිමි
දරුවන්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන් යෝජිත පනත ක්‍රියාත්මක කිරීමේදී, බටහිර ලෝකයේ ඇතැම් නීති ලංකාවට කිසිසේත්ම නොගැලපෙන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
බටහිර ලෝකයේ සියලුම නීති ලංකාවේ අධ්‍යාපනයට අනුකරණය කළ යුතු නැති බවයි කාදිනල් හිමිපාණන් සඳහන් කළේ.
නාගොඩ ශාන්ත ජෝන් බැප්ටිස්ට් මහා විද්‍යාලයට වසර 150 ක් පිරීම නිමිත්තෙන් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් හා ගුරු මණ්ඩලය එක්ව සංවිධානය කළ 150 වැනි ජුබිලි සැමරුම් දිව්‍ය පූජාවට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළකළා.
පාසල්වල දරුවන් වැරදි වැඩ කළහොත්, “කොණ්ඩය වවන්න එපා, කපාගෙන එන්න” ලෙසට ගුරුවරයා පැවසුවහොත්, එම දරුවා හට මානසික පීඩාවක් සිදුවූ බවට පවසා, පැමිණිලි කර අදාළ ගුරුවරයා අත්අඩංගුවට ගත හැකි බවද කාදිනල් හිමිපාණන් සඳහන් කළා.
ලංකාවේ සංස්කෘතියක්, ක්‍රමවේදයක් හා ආචාර ධර්ම පවතින බවත්, මේවාට ගරු කළ යුතු බවත්, දෙමාපියන්ට හා ගුරුවරුන්ට තිබිය යුතු ගුරු භක්තිය, ආදරය දරුවන් තුළ ඇති කිරීමේ ප්‍රවණතාවයට බාධා නොකරන ලෙසට අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
