විදෙස් පුවත්
ජාතික ගීය නිසා බංගලාදේශයේ මතභේදාත්මක තත්ත්වයක්!
බංගලාදේශයේ තරුණ විරෝධතා පසුගිය කාලසීමාවේදී වඩාත් උග්‍ර අතට පත්වූ අතර මේ වන විට එහි නවතම තත්ත්වය වන්නේ විරෝධතාකරුවන් විසින් බංගලාදේශයට නව ජාතික ගීයක් සහ ධජයක් ඉල්ලා සිටීමයි. විරෝධතාකරුවන්ගේ මෙම ඉල්ලීමට එරෙහිව එරට සංස්කෘතික සංවිධානයක් වන Udichi Shilpi Gosthi බංගලාදේශය පුරා විරෝධතා ව්‍යාපාර සංවිධානය කර තිබුණා. ඩකා අගනුවර වෙත රැස්ව ඇති උඩිචි සාමාජිකයන් සහ තවත් සංස්කෘතික සංවිධාන කිහිපයක් රබින්ද්‍රනාත් තාගෝර් (Rabindranath Tagore) විසින් රචිත එරට ජාතික ගීය ගායනා කරමින් රැඩිකල්වාදී පිරිස වෙත සිය විරෝධතාවය දක්වා තිබෙනවා.
එහි දී උඩිචි සභාපති මහාචාර්ය බදුර් රහ්මාන් (Badiur Rahman) පවසා තිබුණේ, 1971 විමුක්ති යුද්ධය සිය විශාලතම අභිමානය බවත්, ඊට එරෙහි ඕනෑම කුමන්ත්‍රණයකට තමන් විරෝධය දක්වන බවත් ය. මිලියන ගණනකගේ රුධිරය හා ජීවිත පරිත්‍යාගයෙන් අත්කර ගත් මෙම අභිමානවත් ජයග්‍රහණය කිසිඳු අයුරකින් කැළැල් කළ නොහැකි අතර, සිය විමුක්ති සංග්‍රාමයට, ජාතික කොඩියට සහ ජාතික ගීයට එරෙහිව කුමන හෝ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන විට හඬ නඟා විරෝධය පළ කරන බවත් ජාතික ගීය සහ ජාතික කොඩිය යනු සිය දේශයේ ජයග්‍රහණය බවත් ඔහු විසින් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
