විදෙස් පුවත්
ඊලෝන් මස්ක්ගේ අලුත්ම දේශපාලන පක්ෂය එළි දක්වයි
ටෙස්ලා සමාගමේ නිර්මාතෘ ඊලෝන් මස්ක් සිය නව දේශපාලන පක්ෂය නිවේදනය කර ඇති බව අමෙරිකානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මිතුරෙකු වූ ඊලෝන් මස්ක් පසුව දෙදෙනා අතර ඇති වූ මත භේදයෙන් පසුව ට්‍රම්ප්ගෙන් වෙන් වුණා.
එහිදී ඔහු සිය X ගිණුමේ සටහනක් තබමින් සිය පරිශීලකයින්ගෙන් විමසීමක් සිදු කරනු ලැබුවේ එක්සත් ජනපදයට නව දේශපාලන පක්ෂයක් තිබිය යුතු ද යන්නයි.
එම සටහනට මත විමසුම් ලැබෙමින් පැවැති අවස්ථාව මස්ක් ඊයේ (05) සිය X ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ “2 ට 1 ගුණයකින්, ඔබට නව දේශපාලන පක්ෂයක් අවශ්‍ය වන අතර ඔබට එය ලැබෙනු ඇත!” යනුවෙනි.
මේ අනුව අමෙරිකානු පක්ෂය නමින් නව පක්ෂයක් දියත් කර ඇති මස්ක් එහිදී පෙන්වා දුන්නේ අමෙරිකානුවන්ගේ යහපත් අනාගතයක් වෙනුවෙන් මෙන්ම නිදහස නැවත ලබාදීමට තමන් මෙලෙස නව පක්ෂයක් ආරම්භ කළ බවයි.
“අපේ රට නාස්තියෙන් හා දූෂණයෙන් බංකොලොත් කිරීම සම්බන්ධයෙන් ගත් කල, අප ජීවත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයක නොව එක පක්ෂ ක්‍රමයක ය. අද, ඔබේ නිදහස ඔබට නැවත ලබා දීම සඳහා ඇමරිකානු පක්ෂය පිහිටුවා ඇත.” යනුවෙන් මස්ක් සිය X ගිණුමේ සටහන් කර තිබෙනවා.
කෙසේ වෙතත් අමෙරිකානු මාධ්‍ය වාර්තා කරන්නේ මස්ක්ගේ මෙම පක්ෂය එක්සත් ජනපද මැතිවරණ බලධාරීන් සමඟ විධිමත් ලෙස ලියාපදිංචි කර තිබේද යන්න මෙතෙක් වාර්තා වී නොමැති බවයි.
ඊට අමතරව මස්ක් එක්සත් ජනපදයෙන් පිටත උපත ලැබූ නිසා එක්සත් ජනපද ජනාධිපති ධුරයට තරඟ කිරීමට සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව හිමිවන්නේ නැහැ.
ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අමෙරිකාවට ගෙන එන ලද නව බදු පනත පිළිබඳව විවේචන ඉදිරිපත් කිරීම හේතුවෙන් දෙදෙනා අතර මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වුණා.
එහිදී ඊලොන් මස්ක් විසින් ට්‍රම්ප්ගේ නව බදු ප්‍රතිපත්තිය දැඩිව විවේචනය කළා.
මෙහිදී ට්‍රම්ප්ගේ අදාළ පනත් කෙටුම්පතට සහාය දුන් නීති සම්පාදකයින් නෙරපා හැරීම සඳහා තමන් මුදල් වියදම් කරන බවද මස්ක් මීට පෙර අවස්ථාවක පවසා තිබුණා.
කෙසේ වෙතත් දෙදෙනා අතර මතුව ඇති මෙම දැඩි මතභේදාත්මක තත්ත්වය හමුවේ ට්‍රම්ප් විසින් පසුගියදා තර්ජනය කළේ ඊලෝන් මස්ක්ගේ සමාගම්වලට ෆෙඩරල් රජයෙන් ලබාදෙන ඩොලර් බිලියන ගණනක සහනාධාර කපා හරින බව පවසමින්.
තවද මස්ක්ගේ අමෙරිකානු පුරවැසිභාවය අහෝසි කිරීමට ද ට්‍රම්ප් සුදානමින් සිටින බවට මීට පෙර වාර්තා වුණා.
