විදෙස් පුවත්
ට්‍රම්ප් තවත් රටවල් 7කට තීරු බදු ලිපි යවන්න සුදානම් වෙයි
වෙළෙඳ ගණුදෙනු සහ තීරු බදු පිළිබඳව අද (09) තවත් රටවල් 7 වෙත නව ලිපි නිකුත් කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කරනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ රටවල් 14කට සංශෝධිත සහ වැඩි කළ තීරුබදු සඳහා ලිපි නිකුත් කිරීමෙන් දිනකට පසුවයි.
මේ අතර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමඟ රාත්‍රී භෝජන සංග්‍රහයක් අතරවාරයේ අමෙරිකානු ජනාධිපතිවරයා තීරු බදු සම්බන්ධව අදහස් දක්වා සිටියා.
එහිදී ඔහු කියා සිටියේ වොෂින්ටනය එක්සත් රාජධානිය, චීනය සමඟ ගිවිසුමකට එළඹ ඇති බවයි.
තවද ඉන්දියාව සමඟ වෙළෙඳ ගිවිසුමකට එළැඹීමට නියමිත බවද අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළා.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නවතම තීරුබදු සහ වෙළෙඳ ලිපි වටය පැමිණෙන්නේ ජනාධිපතිවරයා සහ ඔහුගේ පරිපාලනය විසින් සියලුම එක්සත් ජනපද වෙළෙඳ හවුල්කරුවන් මත බදු වැඩි කිරීමට ගත් තීන්දුව හේතුවෙන් පවතින මතභේද මධ්‍යයේයි.
කෙසේ වෙතත් 2025 අගෝස්තු 01 වනදා සිට සියලුම රටවල් බදු ගෙවිය යුතු බවත් එම දිනය දීර්ඝ කිරීමක් සිදු නොකරන බවත් ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.
