විදෙස් පුවත්
ට්‍රම්ප් ඉන්දියාවට නැවත වරක් තර්ජන කරයි
රුසියානු තෙල් මිලදී ගැනීම පිළිබඳව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත ඉන්දියාවට තර්ජනය කර තිබෙනවා.
සිය Truth Social හී සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා ඊයේ (04) සඳහන් කර ඇත්තේ ඉන්දියාව රුසියානු තෙල් විශාල ලෙස මිලදී ගැනීම් සිදු කිරීමෙන් පමණක් නොනැවතී විවෘත වෙළෙඳපොලේ විශාල ලාභ සඳහා ද එය විකුණන බවයි.
තවද රුසියානු යුද තන්ත්‍රය මඟින් යුක්‍රේනය කොපමණ පිරිසක් මිය යන්නේ ද යන්න ඔවුන්ට ප්‍රශ්නයක් නොවන බවත් ඒ හේතුවෙන් ඉන්දියාව විසින් අමෙරිකා එක්සත් ජනපදයට ගෙවන තීරු බදු සැලකිය යුතු ලෙස වැඩි කිරීමට කටයුතු කරන බවත් ට්‍රම්ප් එම සටහනේ සඳහන් කර තිබෙනවා.
ඉන්දියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 25%ක තීරු බදු පනවන බවට ට්‍රම්ප් කළ නිවේදනයෙන් දින කිහිපයකට පසුව අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම තර්ජනය එල්ල වී තිබීම ද විශේෂත්වයක්.
කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දීය තෙල් සමාගම් රුසියානු ආනයනය නතර කිරීමට සුදානම් නොවන බවයි.
