විදෙස් පුවත්
ටියුනීසියාවේ ජනාධිපතිවරයාට අපහාස කළේයැයි චෝදනා ලද පුද්ගලයෙකුට මරණ දඬුවම
ටියුනීසියාවේ අධිකරණය, සමාජ මාධ්‍ය ඔස්සේ ජනාධිපති කයිස් සයිඩ්ට අපහාස කළේයැයි චෝදනා එල්ල වූ පුද්ගලයෙකුට මරණ දඬුවම නියම කර තිබේ.
මෙම දඬුවම නියම කර ඇත්තේ ජනාධිපතිවරයාට අපහාස කිරීම සහ ජාතික ආරක්ෂාවට තර්ජනය කිරීම යන චෝදනා මත යැයි මානව හිමිකම් සඳහා වූ ටියුනීසියානු ලීගයේ ප්‍රධානියා සඳහන් කරයි.
2021 වසරේදී ජනාධිපති සයිඩ් රටේ බලතල අත්පත් කරගත් පසු, අදහස් ප්‍රකාශ කිරීමේ සීමා දැඩි වීම නිරීක්ෂණය වී ඇති අතර, මෙම නවතම තීන්දුව ටියුනීසියාවේ පෙර නොවූ විරූ තත්ත්වයක් ලෙස විදෙස් මාධ්‍ය විසින් හඳුන්වා ඇත.
දඬුවම නියම වී ඇත්තේ වයස අවුරුදු 56ක සාමාන්‍ය කම්කරුවෙකුට වන අතර, ඔහු සීමිත අධ්‍යාපනයක් ලැබූ පුරවැසියෙක් බව ද වාර්තා වේ. ඔහුගේ නීතිඥවරයා පවසා ඇත්තේ, ෆේස්බුක් සටහන් කිහිපයක් සම්බන්ධයෙන් නබියුල් උසාවියේ විනිසුරුවරයා මෙම තීන්දුව නිකුත් කළ බවයි. එය “කම්පන සහගත සහ පෙර නොවූ විරූ තීන්දුවක්” බවද ඔහු පැවසීය.
කෙසේ නමුත්, එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ද ඉදිරිපත් කර ඇති බව නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
ටියුනීසියාවේ අධිකරණය මරණ දඬුවම් නියම කරන අවස්ථා තිබුණද, වසර 30කට වැඩි කාලයක් තිස්සේ එම දඬුවම් ක්‍රියාත්මක නොවීම විශේෂයෙන්ම සටහන් වේ.
