විශේෂාංග
Apple සමාගමෙහි නවතම AI පෙරළිය
කෘතීම බුද්ධිය ප්‍රධාන ධාරාවට රැගෙන ඒම සඳහා ඇපල් සමාගම මේ වන විට සියළු කටයුතු සූදානම් කොට අවසන් අතර ඔවුනගේ තරඟකරුවන් දැනටමත් හඳුන්වා දී ඇති කෘතිම බුද්ධි (AI) අංගයන් ද ඔවුන් විසින් හඳුන්වා දීමට සූදානම් ය. ඉකුත් අඟහරුවාදා පැවති Annual Worldwide Developers සමුළුවේදී, Apple සමාගම එරට ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් කිහිපයකටම iPhone, iPad, සහ Mac සඳහා පැමිණෙන AI බලයෙන් ක්‍රියා කරන විශේෂාංග කිහිපයක් පිළිබඳව පෙරදසුන් ලබා දෙන ලදී. සමාගම එය නම් කර තිබුණේ “Apple Intelligence” යනුවෙනි.
2011 ඔක්තෝම්බරයේ දී Siri ප්‍රථම වරට හඳුන්වා දෙන ලද අතර එහි ප්‍රබලත්වය යම් ආකාරයකින් පහල බැසීමක් සිදු වූයේ වෙනත් සමාගම් ඊට තරගකාරීව එළිදක්වන ලද අති නවීන හඩට අනුගතව ක්‍රියා කල හැකි යෙදවුම් නිසාවෙනි. නමුත් මේ වන විට Apple උපාංග වෙත පැමිණෙන විශාලතම වෙනස වන්නේ AI හරහා නවීන වඩාත් නිවැරදි සහ ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමේ තාක්ෂණයන් ඒ වෙත නතු කර තිබීමයි.
උදාහරණයක් ලෙස, Apple Intelligence විද්‍යුත් තැපැල්වල (eMail) අක්ෂර වින්‍යාස හෝ ව්‍යාකරණ දෝෂ හඳුනා ගැනීමට (Grammarly වැනි සේවාවන්ට සමාන) හෝ යම් සරල ලිපියක් අදහසක් වෘත්තීයමය බවක් ඇති ලියවිල්ලක් ලෙස පරිවර්තනය කිරීමට (Microsoft හි AI මෘදුකාංග Copilot වැනි) උපකාරී වේ. සාමාන්‍යයෙන් Apple නව තාක්ෂණයන් හඳුන්වා දීමට පෙර එවැන්නක් ගොඩනැංවීම සඳහා වසර ගණනාවක් ගත කිරීම ද මෙවැනි යෙදුම් වර්තමානයේදී එළිදැක්වීමට හේතු පාදක වූවාට සැක නැත.
Apple හි මිල අධික උපාංග භාවිතා කරන පරිශීලකයින් හට පමණක් මෙම AI මෙවලම් මේ වන විට ලබා ගැනීමට හැකියාව ඇත. මෙයට iPhone 15 Pro හෝ M1, M2 සහ M3 ප්‍රොසෙසරයක් සහිත Mac ඇතුළත් ය. මෙම පියවර එක් අතෙකින් ඔවුනගේ පාරිභෝගිකයින් හට තම උපාංග යාවත්කාලීන කිරීම සදහා කරනු ලබන දිරිගැන්වීමක් ය. “Apple Intelligence” සඳහා OpenAI ChatGPT වෙතින් ලබාදෙන දායකත්වයද සඳහන් කල යුතුමය. ඔබේ විද්‍යුත් තැපෑල (email) හරහා කටයුතු සිදු කිරීමේදී Apple හි AI විසින්පුළුල් ක්‍රියාකාරකම් රැසක් සඳහා අවශ්‍ය මග පෙන්වීම සිදු කරයි. උදාහරණ වශයෙන් මාතෘකාවන්හි වෙනස්කම් යෝජනා කිරීම, වාක්‍ය ව්‍යුහය නැවත සකස් කිරීම හෝ අක්ෂර වින්‍යාස සම්බන්ධව අවශ්‍ය suggestions ලබාදීමට එයට හැකියාව ඇත.
Messages හරහා යැවිය හැකි තමාටම ආවේණික ආකාරයේ ඡායාරූප නිර්මාණය (උදාහරණයක් ලෙස සර්ෆ්බෝඩ් එකක ඩයිනෝසෝරයෙකු සමඟ උපන් දින සාද ආරාධනාවක්) නැතිනම් ගෝල්ඩන් ගේට් පාලම වැනි පසුබිම් සමඟ විවිධ පසුබිම් සම්මිශ්‍රණය කර AI-උත්පාදනය කරන ලද ඉමොජි විවිධාකාරයෙන් භාවිතා කරමින් Genmoji ද ඔවුන් විසින් එළිදක්වනු ලැබීය.
Siri හි AI හරහා ක්‍රියා කිරීමේ හැකියාවද ඔවුන් විසින් එහිදී හඳුන්වා දීම සිදු කරන ලදී. උදාහරණයක් ලෙස, Apple විධායක නිලධාරියෙක් Siri හට උදේ 5:30 ට එලාම් තැබීමටත් ඉන් පසුව 5:45 ට එය වෙනස් කිරීමටත් විධාන කරන ලදී. Siri පැකිලීමකින් තොරව ඉතා ඉක්මනින් එම විධානය ක්‍රියාත්මක කර පෙන්වීය. Messages තුළ ඔබ ටෙනිස් ක්‍රීඩක රොජර් ෆෙඩරර් වැන්නෙකු පිළිබඳව කතාබස් කරන විට Siri නිතැතින්ම ඔබගේ සංවාදය පිළිබඳව අවබෝධ කරගනී. උදාහරණයක් ලෙස හඩ නගා ශබ්ද කර විධානයක් දීමකින් තොරව ඔහු එම ක්‍රීඩාවේ කොපමණ ජයග්‍රහණ දිනාගෙන ඇත්දැයි යන්න Siri ඔබට තොරතුරු ලබාදෙනු ඇත.
Siriගේ විෂය පථයෙන් ඔබ්බට යම්කිසි ප්‍රශ්නයක් ඇති විට, ChatGPT ඊට මැදිහත්වි අදාළ දායකත්වය ලබාදීම ද Apple Intelligence හි සුවිශේෂීත්වයකි. ඊට නිදසුනක් වශයෙන් එළවළුවක ඡායාරූපයක් upload කර රාත්‍රී ආහාරය සඳහා කුමක් කළ හැකි දැයි Siri ගෙන් විමසීමක් කළ විට ප්‍රතිචාරය වූයේ ChatGPT වෙත යොමුකර ඊට අවශ්‍ය පිළිතුර ලබාදීම සඳහා අවසර ඉල්ලීමයි.
Apple සමාගම ඔවුනටම ආවේණික වූ AI තාක්ෂණයක් සංවර්ධනය කරගන්නා තුරු ChatGPT සමඟ තබා ඇති මෙම ඉදිරි පියවර ඉතා වැදගත් වන්නක් බව බොහෝ විශ්ලේෂකයින්ගේ අදහසයි. කාලයත් සමඟ, Apple OpenAI සමඟ හවුල්කාරිත්වය ප්‍රතිනිර්මාණය කළ හැකි වුවද වර්තමානයේ මෙම එක්වීම හරහා Apple පාරිභෝගිකයන් හට AI තාක්ෂණයේ මනා අත්දැකීමක් අත්විඳීමට අවකාශ සැලසෙනවාට සැක නැත.