විශේෂාංග
දස වසරකට පසු නාමල් ශ්‍රීලනිප මූලස්ථානයට – 21 රැලිය සම්බන්ධ සාකච්ඡාවකට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ එම පක්ෂයේ නියෝජිත කණ්ඩායමක් වසර දහයක විරාමයකට පසුව අද (10) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය වෙත පැමිණ ඇත.
ඒ එළඹෙන නොවැම්බර් 21 වන දින නුගේගොඩදී පැවැත්වීමට නියමිත ජනරැලිය පිළිබඳ සාකච්ඡාවකට එක්වීම සඳහාය.
වත්මන් රජයේ ක්‍රියාමාර්ගවලට එරෙහිව පැවැත්වීමට නියමිත එම ජනරැලිය පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් අද ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රීලනිප මූලස්ථානයට පැමිණ සාකච්ඡා කර ඇත.
එම සාකච්ඡාව සඳහා ශ්‍රීලනිපය නියෝජනය කරමින් එහි සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ පක්ෂයේ අනෙකුත් නායකයින්ද සහභාගී වූහ.
“ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සියලු පක්ෂ එකම වේදිකාවකට. මාලිමාවට කතිරේ ගහපු අයට රැවටුණු බව තේරිලා. 21 වැනිදා අපි මේ බොරුව හෙළිකරනවා.” යැයි සාකච්ඡාවෙන් අනතුරුව අදහස් පළ කළ ශ්‍රීලනිප මහලේකම් දුමින්ද දිසානායක මහතා පැවසීය.
මාධ්‍යවේදියෙකු විසින් “අවුරුදු 10කින් විතර නේද නිදහස් පක්ෂ මූලස්ථානයට ආවේ?” ලෙස විමසූ විට,
නාමල් රාජපක්ෂ මහතා පිළිතුරු දුන්නේ මෙසේය –
“රැලිය ගැන සාකච්ඡා කරන්න ආවා ආණ්ඩුවට කියන්නේ දුන්න පොරොන්දු ඉටුකරන්න. පසුගිය අයවැය යෝජනා වලින් 50%ක්වත් කරලා නැහැ. එහෙම තියෙද්දි ජනාධිපති පැය 4 1/2ක් කතා කරනවා. කවුද කැබ් 1700ක් ඕනේ කිව්වේ ? මොන ආයතනයෙන්ද කැබ් රථම ඉල්ලලා තියෙන්නේ ? කැබ්ම ඉල්ලපු කෙනාවයි අපි සොයන්නේ. ආණ්ඩුවට යම් යම් අය සතුටු කරන්න ඕනේ ඇති. ආණ්ඩුව බොරු කියන බව ජනතාව තේරුම් අරගෙන ඉන්නේ. කුඩු අයිස්වලට මාවයි අත්අඩංගුවට ගන්න හැදුවේ. ඒක පැලවත්තටම කඩාගෙන වැටුණා. ආණ්ඩුව දේශපාලනය කරන්නේ පික් පොකට් න්‍යායෙන්. ඔය මතයේ ඉන්න සියලුදෙනා 21 නුගේගොඩ එයි.”
