දේශීය පුවත්
ශ්‍රී ලංකන් ගැන හොයන්න විශේෂ කමිටුවක්
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපොළ, ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේ දී සිදුවී ඇති වංචා, දූෂණ හා අක්‍රමිකතා සෙවීම සඳහා ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය මෙලෙස අනුමැතිය හිමිව ඇති බව සඳහන්.
සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම මඟින් රටේ ආර්ථික අභිවෘද්ධිය සඳහා දායකත්වයක් සැපයුවද එය පවත්වාගෙන යාම සඳහා රජයට අධික වැය බරක් දැරීමට සිදුව ඇති අතර එම සමාගම වාර්ෂිකව ලබන අධික පාඩුව රටේ ආර්ථිකයට දරා ගැනීමට අපහසුවී තිබෙනවා.
මෙම සමාගම ආර්ථිකමය වශයෙන් වාසිදායක කාර්යක්ෂම හා ඵලදායී රාජ්‍ය ආයතනයක් බවට පත්කර නවීන තාක්ෂණය භාවිත කරමින් සාර්ථක ලෙස පවත්වාගෙන මහජන අභිලාෂය වී ඇත.
මේ සඳහා සීමාසහිත ගුවන් සමාගම වර්ථමාන තත්ත්වයට පත් වීමට බලපෑ හේතු පිළිබඳව පසුගිය කාලපරිච්ඡේදය තුළ සිදුව ඇති ගණුදෙනු හා සිද්ධීන් සම්බන්ධව විධිමත් අධ්‍යයනක් හා ඇගයීමක් සිදුකළ යුතු වනවා.
තවද ගුවන්තොටුපොළ මෙහෙයුම් පිළිබඳව වගකීම් පැවරී ඇති සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සාමගමේ කටයුතු සම්බන්ධව ද විමර්ශනය කිරීමේ අවශ්‍යතාව විවිධ පාර්ශවයන් ඔස්සේ රජයේ අවධානය යොමු කර තිබෙනවා.
මේ අනුව 2010 – 2025 කාලසීමාව තුළ ඉහත සඳහන් ආයතනවල සිදුව ඇතැයි සැලකෙන වංචා, දූෂණ සහ අක්‍රමිකතා සොයා බලා නිර්දේශ සහිත සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා හිටපු විගණකාධිපති එච්.එම්.ගාමිණී විජේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට නියමිතව ඇති.
