සොයන්න
උණුසුම් පුවත්

විශේෂාංග

සිංහල නාමකරණයට ලක්වූ උතුරු අමෙරිකාවේ නවතම මී මැසි විශේෂය​

නව මී මැසි විශේෂයන් 03ක් සොයා ගැනීමට ශ්‍රී ලාංකික තරුණ පර්‍යේෂකයෙකු වන තිළිණ හෙට්ටිආරච්චි මහතා සමත් වී තිබෙනවා. ඒ උතුරු අමෙරිකාවේ සිදුකළ පර්‍යේෂණයක ප්‍රතිඵලයක් ලෙසයි. කැනඩාවේ මෙන්ටොබා විශ්ව විද්‍යාලයේ මී මැසි ජාන විද්‍යාව පිළිබඳ ඔහු සිය ආචාර්ය උපාධිය හදාරන අතරතුරදී මෙම පරීක්‍ෂණ සිදුකර තිබෙනවා.

කුරුණෑගල සාන්ත ආනා විදුහලේ ආදි සිසුවෙකු වන තිළිණ හෙට්ටිආරච්චි මහතා අමෙරිකාවෙන් සහ මෙක්සිකෝවෙන් මෙලෙස සොයාගත් නව මී මැසි විශේෂයක් සිංහල යෙදුමකින් නම් කර තිබෙනවා. ඒ අතරින් Lasioglossum (Sphecodogastra) dilisena නව විශේෂය නම් කර තිබෙන්නේ ‘දිලිසෙන’ යන සිංහල යෙදුම ඇසුරෙනුයි. ඒ නම් කල නව විශේෂ තුනේම තිබෙන ලෝහමය වයනය නිසාවෙන්. තවද මෙම පර්යේශන පත්රිකාවේ පළමු කතෘ වන්නේ ද​ තිළිණ හෙට්ටිආරච්චි මහතායි.

තමා ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් මෙම අවස්ථාවේ බෙහෙවින් සතුටු වන බවත්, තම රට සහ පුරවැසියන් නියෝජනය කරමින් උතුරු අමෙරිකාවෙන් සොයා ගන්නා ලද නව මී මැසි විශේෂයක් සිංහල නාමයක් යොදාගනිමින් මෙලෙස නම් කිරීමට හැකියාව ලැබීම ගැනත් ඔහු මාධ්‍ය වෙත සිය අදහස් දක්වා තිබුණා. එමෙන්ම ඔහුගේ ප්‍රධානියා වන කැනේඩියානු පර්‍යේශක ජේසන් ගිබ්ස් මහතා මෙම නව සොයා ගැනීම වෙනුවෙන් තිළිණ හෙට්ටිආරච්චි මහතාට ලබාදුන් සහයෝගය පිළිබඳවද ඔහු ඉතාමත්ම ගෞරවයෙන් සිහිපත් කර සිටිනවා.

ශ්‍රී ලංකාවේ මී මැස්සන් පිළිබඳ සිය පර්යේෂණ කටයුතු තවදුරටත් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ද තිළිණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

 

Tags