දේශීය පුවත්
මහින්දගේ ආරක්ෂාව ගැන ආණ්ඩුවේ මතය
හිටපු ජනාධිපතිවරුන් පිළිබඳව පමණක් නොව පුරවැසියන්ගේ ආරක්ෂාව පිළිබඳව ද රජයට වගකීමක් පවතින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
අද (22) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව පිළිබඳව වගකියන්නේ ද යන්න පිළිබඳව අසන පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
ප්‍රශ්ණය – යම්කිසි විදියකින් හිමිකම් පනත සංශෝධනය කරලා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආරක්ෂාව පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් ඇති වුණොත් හිටපු ජනාධිපතිවරයෙක් ලෙස රාජතාන්ත්‍රක කටයුතුවලට සම්බන්ධ වෙන්න අවශ්‍ය පහසුකම් නොලැබුණොත් ආණ්ඩුව හැටියට කොහොමද ඒ වගකීම ගන්නේ ?
“මෙතනදි අපි කිසිම කෙනෙක්ට විශේෂයක් කළේ නෑ. දැනට ජීවත්ව සිටින ජනාධිපතිවරු සහ ඔවුන්ගේ කලාත්‍රයන් සම්බන්ධයෙන් පොදුවේ තමා තීරණය ගත්තේ. හිටපු ජනාධිපතිවරු සම්බන්ධයෙන් පමණක් නොව පුරවැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද වගකීම රජයට තියෙනවා. ඒ සම්බන්ධයෙන් නිරන්තරයෙන් ආරක්ෂක මණ්ඩලය තුළ සාකච්ඡා වෙනවා. බුද්ධි වාර්තා ඇතුළු ආරක්ෂක වාර්තා සැලකිල්ලට ගන්නවා. හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව වාර්තා අධ්‍යයනය කරමින් තමා තීරණ ගනු ලබන්නේ. ඒ වගේම මේ වෙනවිට හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන්න තීන්දුවකුත් තියෙනවා. මේ සියල්ල සැලකිල්ලට අරගෙන, ගෝඨාභය ගැන ඇහුවේ නෑනේ. එයත් ඒ වෙලාවේ ආරක්ෂක ලේකම්. ඒ සියල්ල සැලකිල්ලට ගෙන තමා මෙය ක්‍රියාත්මක කරන්නේ.
1986 දී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විසින් මේ පනත් කෙටුම්පත සකස් කිරීමේ දී විශ්‍රාම යන ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව ගැන සැලකිල්ලට ගන්න ඇති. ඒ නිසා තමා ඔවුන් එවැනි ජනාධිපතිවරයෙකුට ලබාදිය යුතු නිවස සහ එවැනි නිවසක් ලබානොදෙන්නේ නම් ලබාදිය යුතු ප්‍රතිපාදන ගැන පැහැදිලිවම පනත් කෙටුම්පතේ සැලකිලිමත් වෙලා වෙන්න ඇති. අපි ඒ සියල්ල ගැන සැලකිලිමත් වෙමින් මේ පනත අහෝසි කරලා නව පනතක් ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.”
