විශේෂාංග
SpaceX අභ්‍යවකාශ තරණයේ සන්ධිස්ථානයක් සනිටුහන් කල වගයි.
සිය පස්වැනි පරීක්‍ෂණ පියාසැරිය අතිසාර්ථක ලෙස අවසන් කරමින් SpaceX සමාගමේ starship රොකට්ටුව පසුගියදා තවත් කඩඉමක් සනිටුහන් කරනු ලැබුවා. 13 වනදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 5.30ට අමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් හි පිහිටා ඇති star base අභ්‍යවකාශ අංගණයේ සිට ස්ටාර් ෂිප් යානය සිය පස්වැනි පරීක්‍ෂණ පියාසැරිය සඳහා ගුවණට නැගුණු අතර, එහි සුවිශේෂීත්වය වන්නේ සමස්ත රොකට්ටුවේ super heavy බූස්ටරය ප්‍රචාලනයන් සහිතව සුමටව ගොඩබස්වනු ලැබීමට හැකිවීමයි.
එම බූස්ටරය ස්ටාර් ෂිප් යානයෙන් වෙන්වූ පසු සුමටව ගොඩ බෑමේ විධානය SpaceX විසින් නිකුත් කරන ලද අතර, සිය ප්‍රචාලනයන් නිසි පරිදි පවත්වාගනිමින් එය නැවතත් “මෙකාසිලා” ලෙස නම්කර ඇති දියත් කිරීමේ කුළුණ වෙත ළගා වීමෙන් පසු “චොප්ස්ටික්ස්” ලෙස නම් කර ඇති රොබෝ හස්ත යුගලයන් නිසි පරිදි ක්‍රියාත්මක වී සුමටව එම ගොඩබෑම රඳවා ගනු ලැබුවා. එය මානව අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂීතම සන්ධිස්ථානයක් වශයෙනුයි ඉතිහාසයට එක්වුණේ.
මෙම මෙහෙයුම ඇරඹූ තත්පරයේ සිට බූස්ටරය යලිත් පොලවට ගෙන ඒමට විනාඩි හතක කාලයක් සම්පූර්ණව ගතව තිබුණා. පාලක මැදිරිය තුල මෙම ජයග්‍රහණයේ සැමරුම් හඩ පැතිර යන විට starship යානය අභ්‍යවකාශය වෙත ගොස් අවසන්. එය පැයට කිලෝමීටර 26,200ක වේගයකින් පෘථිවිය වටා අභ්‍යවකාශයේ සැරි සැරූ බවටයි විදෙස් මාධ්‍ය වාර්තාවන් සඳහන් කර සිටියේ. කෙසේ වෙතත් එය පෘථිවිය වටා කක්‍ෂයකට අනුගතව ගමන් නොකල නිසාවෙන් සහ කක්‍ෂීය වේගයට ආසන්නව තිරස් මගක ගමන් කල නිසාවෙන් පෘථිවියේ ගුරුත්වය විසින් සිදු කරන බලපෑමට අනුව ස්වභාවිකවම උන්නතාංශයේ පහලට වැටීමට ඉඩ සැලසෙනවා.
ඒ අනුව යලිත් පෘථිවියේ ඉහල වායුගෝලයට ඇතුළු වුණු starship යානය සාර්ථක ලෙස ඉන්දියානු සාගර කලාපයට ඉහලින් වායුගෝලයට ඇතුළුව වේගය යථා පරිදි පාලනය කර ගනිමින් ඉන්දියානු සාගරය මත සුමටව ගොඩබැස්වීමටද හැකියාව ලබාගෙන තිබුණා. එයද සැලසුම් කර තිබූ පරිදිම සිදු කිරීමට හැකිවීම SpaceX ආයතනය විසින් ලබාගන්නා ලද තවත් ජයග්‍රහණයක්. මෙම සාර්ථකත්වය හමුවේ මතුවට සිදු කෙරෙන පියාසැරි වලදී starship යානය පොළවට ගොඩබැස්වීම සඳහා අවසර හිමිවෙනු ඇති අතරම, 2026දී සිදු වීමට නියමිත Artemis III මෙහෙයුමට චන්ද්‍රගාමීන් සඳ මතට රැගෙන යාම සඳහා NASA ආයතනය විසින් starship යානයක් තෝරාගෙන ඇති බවට ද වැඩිදුරටත් සඳහන් වනවා.
