විශේෂාංග
දකුණු අප්‍රිකානු කණ්ඩායම ටෙස්ට් ලෝක ශූරතාවය දිනා ගනී
ලෝක ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ ස්වර්ණමය කඩඉමක් සනිටුහන් කරමින් 2023 – 2025 ටෙස්ට් ලෝක ශූරතාව දිනා ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (14) සමත් වුණා.
ඔවුන් මෙම සුවිශේෂී ජයග්‍රහණය ලබා ගනු ලැබුවේ ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරගයෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 5කින් පරාජය කරමින්.
මෙම ජයග්‍රහණය සමඟ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඉදිරියේ සනිටුහන්ව තිබූ ක්‍රිකට් ලෝක කුසලාන සාපය නිමා කිරීමට ටෙම්බා බවුමාගේ නායකත්වයට හැකි වුණා.
ඕස්ට්‍රේලියානු කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 282ක ඉලක්කය කඩුලු 5ක් දැවී තිබියදී පහසුවෙන් පසුකර යාමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.
තරඟයේ සිව්වන දිනය වෙනුවෙන් අද (14) දිනය තරඟය ආරම්භ කරන විට ඔවුන් කඩුලු 2ක් දැවී ලකුණු 231ක් රැස්කර ගෙන සිටියා.
එහිදී ඔවුන්ට ලෝක ටෙස්ට් ශූරතාව දිනා ගැනීමට තවත් අවශ්‍ය තිබුණේ ලකුණු 69ක් පමණි.
දකුණු අප්‍රිකානු කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යාමේ නියමුවා වූ ඒඩියන් මාක්‍රම් පන්දු 207කට මුහුණ දෙමින් ලකුණු 136ක් රස කරගෙන සිටියදී ජයග්‍රහණය පෙනෙන මානයේ දී දැවී ගියා.
මාක්‍රම් සහ නායක ටෙම්බා බවුමා සමඟින් තෙවන කඩුල්ලට ගොඩනැගූ ලකුණු 147ක් වටිනා සබඳතාව දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ජයග්‍රහණයේ තීරණාත්මක සාධකය වුණා.
දකුණු අප්‍රිකාව වෙනුවෙන් නායක ලකුණු 66ක් රැස් කරගෙන සිටියදී දැවී ගියා.
තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව පළමු ඉනිමට ලකුණු 212/10 ක් රැස්කළ අතර ඊට පිළිතුරු වශයෙන් දකුණු අප්‍රිකාවට රැස් කිරීමට හැකි වුයේ ලකුණු 138ක් පමණි.
කෙසේ නමුත් ලකුණු 74කින් ඉදිරියෙන් සිටිමින් දෙවන ඉනිම ඇරඹු ඕස්ට්‍රේලියාවට රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 207ක් පමණක් වූ අතර ඒ හේතුවෙන් දකුණු අප්‍රිකාවට සිය දෙවන ඉනිමේ දී ලකුණු 282ක ඉලක්කයක් හිමි වුණා.
මෙම ජයග්‍රහණය සමඟ ශූරයන් සඳහා පිරිනමන අමෙරිකානු ඩොලර් මිලියන 3.6ක හෙවත් ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 108ක ත්‍යාග මුදලට හිමිකම් කීමට දකුණු අප්‍රිකාවට අවස්ථාව ලැබෙනු ඇති.
වසර 136ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයක් ඇති ලොව තෙවන පැරණිම ක්‍රිකට් කණ්ඩායම විසින් සැලකෙන දකුණු අප්‍රිකාව සිය ක්‍රිකට් ඉතිහාසයේ කුමන හෝ ආකෘතියකින් ලෝක කුසලානයක් දිනාගත් පළමු හා එකම අවස්ථාව ලෙසද වාර්තා අතරට එක්වුණා.
ඔවුන්ට මීට පෙර ICC තරඟ මාලාවක ජයග්‍රහණය තිබූ එකම ශූරතාව වුයේ 1998 වසරේ පැවැති පළමු ශූරයන්ගේ කුසලාන තරඟාවලියේ ශූරතාව දිනා ගැනීම පමණි.
මෙම තරඟාවලි ඉතිහාසයේ ද ඔවුන් අවස්ථා 5කදීම අවසන් පුර්ව වටය දක්වා පැමිණ තිබෙනවා.
දකුණු අප්‍රිකානු කණ්ඩායම ලෝක කුසලානය පෙනෙන මානය දක්වා පැමිණ අවාසනාවන්ත අයුරින් ඉවතට විසිවන කණ්ඩායමක් ලෙස ප්‍රකට දකුණු අප්‍රිකාව අවසන් වරට 2024 වසරේ පැවැති විස්සයි විස්ස ලෝක කුසලානයේ ද අවසන් මහා තරඟයේ දී ප්‍රබල ඉන්දීය කණ්ඩායම හමුවේ පරාජයට පත්වුණා.
එම තරඟ ඉතිහාසයේ ද අවස්ථා 2කදීම ඔවුන් අවසන් පුර්ව වටය දක්වා පැමිණ තිබෙනවා.
දකුණු අප්‍රිකානු කණ්ඩායම එක්දින ලෝක කුසලාන 5කදිම අවසන් පුර්ව වටය දක්වා පැමිණ අවසන් මහා තරඟය අහිමි වූ කණ්ඩායමකි.
මේ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම සමස්ථයක් ලෙස ක්‍රිකට් ආකෘති ත්‍රිත්වය යටතේම ලෝක කුසලාන අවසන් මහා තරඟයක් අවසන් පුර්ව තරඟ 12ක් හා අර්ධ අවසන් පුර්ව තරඟ 2ක් ක්‍රීඩා කර තිබෙනවා.
