සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් ලක්ෂ 2.3ක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා

කොළඹ දිස්ත්‍රික්කය තුළ පමණක් පාසල් ළමුන් 230,000කට වැඩි පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (27) අකුරැස්ස ගොඩපිටිය ජාතික පාසලේදී පැවැති මත් උවදුර වැළැක්වීමේ දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින්ය.

වීරසිංහ මහතා කියා සිටියේ, “බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් පාසල් ළමුන් 230,982ක් මත්ලෝලීන්. දකුණු පළාතේ තත්ත්වය තවත් දැවැන්ත බව විශ්වාසයි. බන්ධනාගාරවල වැඩිම පිරිස තාරුණ්‍යය සහ සාක්ෂරතාව අඩු අය ය,” යනුවෙනි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මව්වරුන්ගේ වැරදි නිසා බන්ධනාගාරවල අවුරුදු 5ට අඩු ළමුන් 42ක් පමණ සිටින බවයි. “අම්මාවරුන්ගේ වැරදි නිසා ළමුන් පවා නීතියේ බලපෑම්ට ලක්වෙනවා. මේ රජයට මත්ද්‍රව්‍ය රහිත රටක් නිර්මාණය කිරීම අති මහත් අරමුණක්,” ඔහු සඳහන් කළේය.

මේ අතර, කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජයන්තා පද්මිනී වීරසූරිය මහත්මිය ද පාසල් ආශ්‍රිත මත් ජාවාරම් මැඩලීමේ ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් දක්වමින්, “සිවිල් ඇඳුමින් නිලධාරීන් බොහෝ දෙනෙකු යොදවා තියෙනවා. පාසල් ළමුන්ගේ ගමන් මාර්ග සහ පරිසරය නිරීක්ෂණය කරමින් මත්ද්‍රව්‍ය පතුරවන්නන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව” කියා සිටියේය.

ඇය තවදුරටත් සඳහන් කළේ, මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා 071 859 2683 දුරකථන අංකය බාවිතා කරන ලෙසත්ය.

Tags