දේශීය පුවත්
ගත වූ මාස 5 තුළ අල්ලස් කොමිසමට පැමිණිලි 2000ක්
2025 වසරේ ගත වූ මාස 5 තුළ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි ගණන 2000 ඉක්මවා ගොස් තිබෙනවා.
එම කොමිසන් සභාව පෙන්වා දෙන්නේ 2025 වසරේ ජනවාරි මස පළමු වනදා සිට මැයි මස 31 වනදා දක්වා කොමිෂන් සභාව වෙත පැමිණිලි 2138ක් ලැබී ඇති බවයි.
2024 වසරේ ඉතිරිව ඇති පැමිණිලි ද සමඟින් මේ වන විට කොමිෂන් සභාව සතුව පවතින සමස්ථ පැමිණිලි ගණන 2221ක් වන බව සඳහන්.
මින් පැමිණිලි 224ක් විමර්ශනයට නියෝග කර ඇති අතර ප්‍රමාණවත් කරුණු නොතිබීම හා පනතට අදාළ නොවීම යන කරුණු මත පැමිණිලි 524ක් විමර්ශනය නොකිරීමට තීරණය කර තිබෙනවා.
පැමිණිලි 282ක් විමර්ශනය සඳහා වෙනත් ආයතන වෙත යොමු කර ඇති බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මේ වසරේ ගත වූ මාස 5ට අදාළව නිකුත් කළ ප්‍රගති වාර්තාවේ දැක්වෙනවා.
එම කාලය තුළ අල්ලස් කොමිසම විසින් සමස්ථ වැටලීම් 44ක් සිදුකර ඇති අතර සාර්ථක වූ වැටලීම් 25කදී සැකකරුවන් 31 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගත වූ මාස 5 තුළ අල්ලස් කොමිසම විසින් මහාධිකරණයේ නඩු පැවරීම 42ක් සිදුකර ඇති අතර හිටපු අමාත්‍යවරයෙකු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු, ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු, පොලිස් නිලධරීන් 11 දෙනෙකු ඇතුළු චූදිතයින් 45 දෙනෙකුට අදාළව එම නඩු පැවරීම් සිදුකර ඇති බව සඳහන්.
තවද අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩුවලට අදාළව කාලය තුළ හිටපු අමාත්‍යවරයෙකු, සතොස හිටපු සභාපතිවරයෙකු, පළාත් ප්‍රධාන අමාත්‍යවරයෙකු, ඇතුළු 19 දෙනෙකු වරදකරුවන් බවට පත්ව තිබෙනවා.
මෙම ප්‍රගති වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩු 272ක් මේ වන විට අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින බවයි.
