සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ජාතික විගණන කාර්යාලයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට චෝදනාවක්

දුම්රිය සන්නිවේදන පද්ධතිය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය වර්තමානය වන විට ඵලදායී ලෙස ක්‍රියාත්මක නොවන බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ දුම්රිය සේවාවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් දුම්රිය සන්නිවේදන පද්ධතිය නවීකරණය සඳහා වූ ව්‍යාපෘතිය 2020 නොවැම්බර් මසදී අවසන් කර තිබුණ ද එම ව්‍යපෘතිය මඟින් බලාපොරොත්තු වූ ප්‍රතිඵල අත්වී නොමැති බවයි.

දුම්රිය සන්නිවේදන පද්ධතිය නවීකරණය සඳහා ව්‍යාපෘතියේ කාර්ය සාධන විගණනයට ප්‍රකාශයට පත් කරමින් ජාතික විගණන කාර්යාලය මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

දීප ව්‍යාප්තව දුම්රිය සේවාවේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමේ අරමුණින් මෙම දුම්රිය සන්නවේදන පද්ධතිය නවීකරණය සඳහා වූ ව්‍යාපෘතිය ක්‍රියාත්මක තිබුණා.

කෙසේ වෙතත් එම පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ දී ඊට අදාළ සියලු නිලධාරීන් පෞද්ගලිකව සහ සාමුහික ලෙස පද්ධතියට ඇතුළත් නොවීම, දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ගිවිසුම් ප්‍රකාරව අදාළ සන්නිවේදන නියෝජිතායතනයෙන් නඩත්තු කටයුතු සිදුකර ගැනීමට පියවර නොගැනීම, සමස්ත පද්ධතියේ කටයුතු සම්බන්ධයෙන් අධීක්ෂණ ක්‍රමවේදයක් නොතිබීම යනාදී ප්‍රධාන දුර්වලතාවයන් හේතුවෙන් මේ වන විට ව්‍යාපෘතිය කාර්යක්ෂම සහ ඵලදායී ලෙස ක්‍රියාත්මක නොවන බව හෙළිව ඇති බව සඳහන්.

මෙම සන්නිවේදන පද්ධතියේ උපාංග රාජකාරී කටයුතු සඳහා භාවිතා කිරීම අනිවාර්ය කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව චක්‍රලේඛයක් නිකුත් කර තිබුණ ද ඒ අනුව ඇතැම් නිලධාරීන් කටයුතු කර නොමැති බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

ඔවුන්ගේ වාර්තාවෙන් නිර්දේශ කර ඇත්තේ මෙලෙස චක්‍රලේඛයට පටහැනිව කටයුතු කර ඇති නිලධාරීන් රාජකාරී කටයුතු පැහැර හැරීම පිළිබඳව විනයානුකූල පියවර ගැනීම සිදුකළ යුතු බවයි.

තවද මෙම පද්ධතිය සාර්ථක ලෙස සහ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා දීප ව්‍යාප්තව පුළුල් සංඥා ආවරණයක් ස්ථාපිත කිරීම සඳහා පියවර ගන්නා ලෙස ජාතික විගණන කාර්යාලය වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

Tags