දේශීය පුවත්
ටිරාන් අලස්ට එරෙහිව ජන අරගල සන්ධානයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
හිටපු අමාත්‍ය ටිරාන් අලස්ට එරෙහිව නීති විරෝධී අක්වෙරළ ආයෝජන චෝදනා සම්බන්ධයෙන් ජන අරගල සන්ධානය විසින් අද (14) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් භාර දී ඇත.
පැමිණිල්ලේ සඳහන් වන්නේ, ටිරාන් අලස් ශ්‍රී ලංකා විනිමය පනතේ ප්‍රතිපාදන කඩ කරමින් බ්‍රිතාන්‍ය වර්ජින් දූපත්හි පිහිටි Banham Ventures Limited සහ Bromption Properties සමාගම් දෙකකට බ්‍රිතාන්‍ය පවුම් 2.9 මිලියනකට ආසන්න මුදලක් ආයෝජනය කර ඇති බවයි.
ජන අරගල සන්ධානයේ විධායක සභික දුමින්ද නාගමුව මහතා පැවසුවේ, මෙම ගනුදෙනු 2023 දී ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංසදය (ICIJ) විසින් ‘පැන්ඩෝරා පත්‍රිකා’ හරහා හෙළිදරව් කර ඇති බවය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ, හිටපු අමාත්‍යවරයාගේ නිල වත්කම් බැරකම් ප්‍රකාශයන්හි මෙම අක්වෙරළ ආයෝජන සඳහන් නොවන්නේ නම්, එය බරපතල නීතිමය පරීක්ෂණයකට ලක් කළ යුතු බවයි. ජන අරගල සන්ධානය අවධාරණය කළේ, මෙවැනි නීති විරෝධී ආයෝජන රටේ ආර්ථිකයට දැඩි හානි කිරීම නිසා අල්ලස් කොමිසමෙන් හදිසි විමර්ශනයක් ආරම්භ කළ යුතු බව සහ නව ආණ්ඩුව යටතේ ඒ පිළිබඳ කඩිනම් පියවර ගැනීම සඳහා අපේක්ෂා කරන බවයි.
