සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ජනපති සහ අපනයන කර්මාන්තයට සම්බන්ධ පාර්ශව අතර සාකච්ඡාවක්

අමෙරිකා එක්සත් ජනපදය සමඟ පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස පනවා තිබූ අන්‍යෝන්‍ය තීරු බදු ප්‍රතිශතය 44% සිට 30% දක්වා අඩු කර ගැනීමට හැකි වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අමෙරිකා එක්සත් ජනපදය ක්‍රියාත්මක කිරීමට නියමිත නව අන්‍යෝන්‍ය තීරු බදු ප්‍රතිපත්තියට අදාළ සාකච්ඡාවල ප්‍රගතිය, වර්තමාන තත්ත්වය සහ මෙම තීරු බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සමඟ මුහුණ දීමට සිදුවන ආර්ථික අභියෝග පිළිබඳව අපනයන කර්මාන්තයට අදාළ සියලු පාර්ශ්ව සමඟ අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක් වෙමින්.

මෙම සාකච්ඡාව අඛණ්ඩව පවත්වාගෙන යමින් තවදුරටත් සහන ලබා ගැනීමට අපේක්ෂා කරන බවද ඔහු මෙහිදී කියා සිටියා.

ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේ තවද මෙරට ආර්ථිකයට ව්‍යාපාරවලට ව්‍යාපාරික ප්‍රජාවට සහ ජන ජීවිතය වඩාත් හිතකර ලෙස සංශෝධන සිදු කර ගැනීම රජයේ අපේක්ෂාව බවයි.

මෙම අභියෝගාත්මක අවස්ථාවේ දී එහි ධනාත්මක පැතිකඩ සම්බන්ධව අවධානය යොමු කරමින් නව වෙළෙඳපොළ ප්‍රවේශයන් හඳුනා ගැනීම සඳහා රජය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව සහ අපනයන විවිධාංගීකරණය සඳහා ඇති අවස්ථාවන් පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණා.

Tags