සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

නීති විරෝධීව මුදල් සොයා ඇත්දැයි බලන්න පසුගිය රජයේ හිටපු ඇමතිවරයෙක් පොලීසියට කැඳවයි

මුදල් විශුද්ධිකරණ පනතට අනුව සිදුකරන ලද විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා කම්කරු සහ විදේශ රැකියා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ලබන 20 වනදා මුල්‍ය අපරාධ විමර්ශන දිසාවෙහි නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කැඳවා ඇති බව වාර්තා වනවා.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ 2011 අංක 40 දරන පනතින් සංශෝධිත 2006 අංක 05 දරන මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව හිටපු අමාත්‍යවරයා විසින් සිය වත්කම් උපයා ගැනීම පිළිබඳව මෙම විමර්ශන ආරම්භ කර ඇති බවයි.

සිද්ධියට අදාළව මුල්‍ය අපරාධ විමර්ශන දිසාවෙහි නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට අල්ලස දුෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපතිවරයා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

එම පැමිණිලිකරු පොලීසියෙන් ඉල්ලා ඇත්තේ හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා එවක කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ධුරය දරන කාලයේ දී නීති විරෝධී ආකාරයෙන් දේපල හෝ වත්කම් උපයාගෙන ඇත්දැයි යන්න පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙසයි.

මේ අනුව මෙම සිද්ධියට අදාළ විමර්ශනයේ දී ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ලබන 20 වනදා මුල්‍ය අපරාධ විමර්ශන දිසාවෙහි නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කැඳවා ඇති බව පොලීසිය සඳහන් කරනවා.