දේශීය පුවත්
මැති ඇමතිවරුන්ට ගෙවූ දේපොළ වන්දි ආපසු අය කරන ලෙස ඉල්ලා අධිකරණයට පෙත්සමක්
නිවාස හා දේපොළ ගිනිබත් වූ පසුගිය රජයේ මැති ඇමතිවරුන් විසින් නීතිවිරෝධී ආකාරයට රජයෙන් ලබාගෙන තිබෙන වන්දි මුදල් යළි අය කර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කෙරුණු මුලික අයිතිවාසිකම් පෙත්සමක් කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් මස 13 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) නියෝග කළා.
සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම නීතිඥවරයෙකු වන ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.
මෙම පෙත්සම මහින්ද සමයවර්ධන සහ සෝභිත රාජකරුණා යන මහතවරුන්ගේ සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
2022 වසරේ මැයි මස 09 වනදා ගාලු මුවදොර ‘ගෝඨා ගෝ ගම’ අරගල භූමියට පහරදීමේ සිද්ධියෙන් පසුව රට පුරා ඇතිවූ ප්රචණ්ඩ ක්‍රියාවලින් මෙම දේපොළ හානි සිදු වුණා.
මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස හිටපු ආරක්ෂක ඇමති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරල් කමල් ගුණරත්න, හිටපු ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා, හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න, හිටපු මහජන ආරක්ෂක අමාත්‍යවරුන් වන ටිරාන් අලස් සහ ප්‍රසන්න රණතුංග, වත්මන් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, වත්මන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, නීතිපතිවරයා ඇතුළු 15 දෙනෙකු නම් කර තිබෙනවා.
2022 වසරේ මැයි 09 වනදා අරගල භූමියට පහර දීමෙන් අනතුරුව ඇති වූ ප්රචණ්ඩ ක්‍රියා හේතුවෙන් නිවාස හා දේපොළ විනාශ වූ හිටපු මැති ඇමතිවරුන් ඇතුළු 43 දෙනෙකුට පසුගිය රජය විසින් වන්දි ලෙස රුපියල් බිලියන 1.22ක මුදලක් ගෙවා තිබෙන බව පසුගිය පෙබරවාරි මස 05 වනදා අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළ බව පෙත්සම්කරු පේනවා දෙනවා.
මෙහිදී මහජන මුදල් දැඩි ලෙස අවභාවිතාවකට ලක්ව ඇතැයි චෝදනා කළ පෙත්සම්කරු ස්වභාවික ආපදාවකදී පවා දේපල විනාශ වීම වෙනුවෙන් එක් පුද්ගලයෙකුට ගෙවිය හැකි උපරිම වන්දි මුදල රුපියල් මිලියන 2.5ක් බවද සඳහන් කරනවා.
පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ නිසි නීතිමය පටිපාටියට පරිබාහිරව මෙම ගෙවීම් සිදුකර ඇති බවත් ඒ තුළින් සිය මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත්ය.
තවද අනීතික ආකාරයෙන් ගෙවා තිබෙන වන්දි යළි අය කරගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස දේශපාලන විනාශ වූ මැති ඇමතිවරුන්ගේ දේපල වෙනුවෙන් නිසි තක්සේරුවක් සිදුකොට නිත්‍යානුකූල ආකාරයෙන් වන්දි ගෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
