දේශීය පුවත්
අධිවේගයේ යන සියලු වාහනවලට විශේෂ දැනුම් දීමක්
2025 අගෝස්තු 1 වනදා දින සිට අධිවේගී මාර්ගවල සැහැල්ලු වාහනවල ගමන් කරන සියලුම මඟීන්ට සහ සැප්තැම්බර් 1 වනදා සිට අධිවේගී බස් රථවල ගමන් කරන සියලුම මඟීන්ට ආසන බඳපටි පැළඳීම අනිවාර්යය කර තිබෙනවා.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා මේ බව පැවසුවේ අද (01) උදෑසන කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.
රිය අනතුරුවලින් විශාල ප්‍රමාණයක් ජීවිත අහිමි වන බවත් එම තත්ත්වය මඟ හැරීම සඳහා මෙම තීරණය ගත් බවත් ඒ මහතා කියා සිටියා.
ඔහු සඳහන් කළේ අධිවේගී මාර්ගවල ධාවනය වන සැහැල්ලු වාහනවල පිටුපස ආසනවල යන අයටද ආසන පටි පැළඳීම අනිවාර්යය වන බවයි.
මේ අතර 2011 වසරේ සිට ආසන පටි පැළඳීම අනිවාර්යය කර තිබුණ ද සැහැල්ලු වාහන සඳහා එම නීතිය තරමක් ක්‍රියාත්මක වුවත් ලොරි සහ බස් රථ එම නීතිය මඟ හැර සිටි බව අමාත්‍යවරයා පවසනවා.
ඒ මහතා පැවසුවේ අද සිට බස් හා ලොරි රථ රියදුරන්ට ආසන පටි පැලඳීම අනිවාර්යය වන බවයි.
මෙය හුදෙක් නීතිය ක්‍රියාත්මක කිරීමක් නොවන අනතුරුවලින් සිදුවන හානිය අවම කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන දැවැන්ත වැඩපිළිවෙලේ කොටසක් බවද ඔහු සඳහන් කරනවා.
මේ අතර අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි බස් රථවල රියදුරන් ආරක්ෂිත ආසන පටි පැළඳීම අනිවාර්යය බව ජාතික ගමනාගමන කොමිසම මීට පෙර දැනුම් දුන්නා.
එම කොමිසමේ සභාපති ඉංජිනේරු පී.ඒ.චන්ද්‍රපාල කියා සිටියේ එලෙස නොකරන රියදුරන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.
මෝටර් රථ පනතේ ප්‍රතිපාදන අනුව 2011 ඔක්තෝබර් මස 01 දින සිට වාහන රියදුරන් ආරක්ෂිත ආසන පටි පැලඳීමේ නීතිය ක්‍රියාත්මකයි.
