දේශීය පුවත්
වගවීමේ ක්‍රියාවලියට කැපවී සිටින්නේ දේශීය යාන්ත්‍රණයක් හරහා පමණයි – ඇමති විජිත ජීනිවා සැසිවාරයේ දී කියයි
ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා අද (08) පස්වරුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 60 වැනි සැසිවාරය අමතනු ලැබුවා.
එහිදී අමාත්‍යවරයා අවධාරණය කළේ LTTE සංවිධානය සමඟ පැවැති යුද ගැටුම්වල දී සිදුවූ බවට කියැවෙන මානව හිමිකම් උල්ලංඝනයන් විමර්ශන කිරීම සඳහා යෝජිත කවරාකාරයේ හෝ බාහිර මැදිහත්වීමක් හෝ යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන බවයි.
ඊට අමතරව මෙම සැසිවාරයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටර්ක් විසින් ශ්‍රී ලංකාව පිළිබඳව ඉදිරිපත් කරන වාර්තාවට ප්‍රතිචාර දක්වමින් රජය වෙනුවෙන් අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාව වගවීමේ ක්‍රියාවලියට කැපවී සිටින්නේ දේශීය යාන්ත්‍රණයක් හරහා පමණක් බවයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවරදී අද (08) ආරම්භ වුණා.
සැසිවාරය සඳහා ඉදිරිපත් කෙරුණු මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ වාර්තාවෙන් මෙරට මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව නිසි විසඳුම් ලබාදී නොමැති බව සඳහන් කර තිබෙනවා.
අද (08) සිට ඔක්තෝබර් 8 වනදා දක්වා පැවැත්වෙන සමුළුව සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා එරටට ගොස් සිටිනවා.
සැසිවාරය අතරවාරයේ දී ඒ ඒ රටවල තරුණයින්ගේ මානව හිමිකම් සුරක්ෂිත කිරීම, ප්‍රචණ්ඩත්වය පිටුදැකීම, ආදිවාසි ජනතාවගේ අයිතිවාසිකම් ආදි මාතෘකා යටතේ සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
තවද මියන්මාරය, ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය, සුඩානය, පලස්තීනය, සිරියාව ආදි රටවල මානව හිමිකම් තත්ත්වයන් පිළිබඳ වාර්තා සහ වාචික යාවත්කාලීන කිරීම් ඉදිරිපත් කිරීමට නියමිතයි.
