සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

රු. ලක්ෂ 12ක අල්ලසක් ලබාගත් කෘෂිකර්ම නිලධාරියෙක් අත්අඩංගුවට

තණමල්විල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ඇතිලිවැව නගරයේ අවන්හලක් තුළදී රජයේ ඉඩමක කොටසක් වගා කටයුතු සඳහා ලබාදීම සම්බන්ධයෙන් රුපියල් ලක්ෂ 12ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබාගත් කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරයෙකු අල්ලස් කොමිසම විසින් ඊයේ (16) අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු දියළුම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සේවය කරන නිලධාරියෙකි. ඔහු වැල්ලවාය ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසා ඇත. මහව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් ගෙන ආ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, අනවසරයෙන් අල්ලාගෙන වගා කටයුතු සිදු කරන ලද රජයේ අක්කර 20ක ඉඩමකින් අක්කර 12ක කොටසක් පැමිණිලිකරු වෙත ලබාදීමට සැකකරු කටයුතු කළ බව විමර්ශනවලදී හෙළිව ඇත.
එම ඉඩම ලබාදීමේ ක්‍රියාවලිය සඳහා ලක්ෂ 35ක මුදලක් ඉල්ලා තිබූ අතර, එමගින් ලක්ෂ 10ක මුදලක් “අක්කර බදු” ලෙස ගෙවා ඇති බවට කුවිතාන්සියක් ලබාදීමෙන් පසුව, ඉතිරි මුදලෙන් රුපියල් ලක්ෂ 12ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගත් බවට චෝදනා වී ඇත.

අල්ලස් මුදල ලබාගැනීමේ අවස්ථාවෙදී අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගත් බවද වාර්තා වේ.

Tags