දේශීය පුවත්
ගෝලීය පියයුරු පිළිකා දැනුවත් කිරීමේ මාසය සමරමින් පාර්ලිමේන්තුවේ දී දැනුවත් කිරීමේ වැඩසටහනක්
ගෝලීය පියයුරු පිළිකා දැනුවත් කිරීමේ මාසය ලෙස සැලකෙන ඔක්තෝබර් මසට සමගාමීව, පාර්ලිමේන්තුවේදී අද (22) විශේෂ වැඩසටහනක් පැවැත්වුණා. එහිදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ කථානායක ජගත් වික්‍රමරත්න මහත්ම මහත්මීන්ට පියයුරු පිළිකා දැනුවත් කිරීම සංකේතවත් කරන ලාංඡන සහ අත්පළඳනා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් ලබා දුන්නේය.
මෙම අවස්ථාවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, අමාත්‍ය නලින්ද ජයතිස්ස, සහ විපක්ෂ සංවිධායක ගයන්ත කරුණාතිලක ඇතුළු මන්ත්‍රීවරුන්ද එක්ව සිටියහ.
වැඩසටහනට සහාය දැක්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ කාර්ය මණ්ඩලය රෝස පැහැති ඇඳුමෙන් සැරසී පැමිණි අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය මඟින් සභාවේ විවාදයක්ද අද පස්වරු 4.30ට පැවැත්වූවා.
වෛද්‍යවරුන් සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ දිනකට නව පියයුරු පිළිකා රෝගීන් 15ක් හඳුනාගන්නා අතර, ඉන් 3ක් මියයන බවය. කල් ඇතිව හඳුනාගත් විට සුව විය හැකි රෝගයක් වන බැවින්, කාන්තාවන්ට මසකට වරක් ස්වයං පියයුරු පරීක්ෂාව සිදුකරන ලෙස ද අවධාරණය කෙරිණි. ඒ අනුව, පියයුරු පිළිකා මර්දනයේ වගකීම කාන්තාවන්ට පමණක් නොව පිරිමි පාර්ශ්වයටද අයත් බව මෙහිදී අවධාරාණය කෙරිණි.
