සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ජනපතිගේ ජර්මානු සංචාරය ගැන අසත්‍ය තොරතුරු අන්තර්ජාලයට මුදා හැරීම ගැන පරීක්ෂණයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය දා සිදුකළ ජර්මානු සංචාරයේ නිරතව සිටියදී ඒ සම්බන්ධව ජනතාව කුපිත කරන ආකාරයේ අසත්‍ය හා ද්වේෂ සහගත තොරතුරු අන්තර්ජාලයේ මුදා හැරීමේ සිද්ධියක් සම්බන්ධව විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තැනූජා ලක්මාලි ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ එම සිද්ධිය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ වාර්තාවක් සැලකිල්ලට ගැනීමෙන් පසුවයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම්වරයෙකු වන ජී. සුභාෂ් චමින්ද රොෂාන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ජර්මානු සංචාරය අතරතුර ජනාධිපතිවරයා කොටි නායකයෙකු හමුවන බවට ආරංචි ලැබී ඇති බවට හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පවසා ඇති බවද සඳහන්.

එම සාකච්ඡාවට විවිධ මාධ්‍ය මෙන්ම අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට පෙන්වා දී තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ දැනුම් දී ඇත්තේ ජනාධිපතිවරයා ඇතුළු රජය අපහසුතාවයට පත්කිරීමේ අරමුණෙන් මෙම ප්‍රකාශය සිදු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවත්ය.

ඒ අනුව අදාළ සිද්ධිය පිළිබඳව විමර්ශන සිදුකරන ලෙස නියම කළ මහේස්ත්‍රාත්වරිය එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස නියෝග කළා.

Tags