දේශීය පුවත්
ධාවනයට නුසුදුසු ලංගම බස් රථයක් පොලීසිය මැදිහත් වීමෙන් තණමල්විල ඩිපෝවට යොමු කරලා
ධාවනයට නුසුදුසු තත්ත්වයේ තිබියදී මඟීන් 70කට වැඩි පිරිසක් ද සමඟ බණ්ඩාරවෙල සිට මාතර දක්වා ගමන් තිබූ වැල්ලවාය ඩිපෝවට අයත් ලංගම බස් රථයක් තණමල්විල පොලීසිය විසින් තණමල්විල නගරයේ දී නවතා නැවත එම බස් රථය තණමල්විල ඩිපෝව වෙත යොමු කර තිබෙනවා.
බණ්ඩාරවෙල සිට ගමන් ආරම්භ කර ඇති මෙම බස් රථය පසුගිය ඉරිදා 15 වනදා මඟීන් 70කට ආසන්න පිරිසක් මාතර දක්වා ගමන් කරමින් සිට ඇති බව වාර්තා වනවා.
පොලීසිය පැවසුවේ අදාළ අවස්ථාවේ දී බස් රථය එක් පසෙකට ඉතා අනාරක්ෂිත ලෙස ඇලවී තිබියදීත් එය ඉදිරියටම මඟින් සමඟ ධාවනය කර ඇති බවයි.
සිද්ධිය සම්බන්ධව බස් රථයේ මඟීන් විසින් තණමල්විල මුලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දී තිබෙනවා.
එම දැනුම් දීම මත වහා ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා පොලිස් නිලධාරීන් යොදවා එම බස් රථය තණමල්විල නගරයේ දී නවතා පරික්ෂාවට ලක්කර ඇති බව සඳහන්.
බස් රථයේ දෝෂයක් තිබියදී මඟීන් සමඟින් අනාරක්ෂිතව මෙය ධාවනය කර ඇති බවද මෙහිදී පොලිස් නිලධාරීන්ට දැකගත හැකිව තිබෙනවා.
අනතුරුව පොලිස් නිලධාරීන් විසන් බස් රථය මාතර දක්වා ධාවනය කිරීම නවතා දමා එම අවස්ථාවේදීම තණමල්විල ඩිපෝව වෙත බස් රථය යොමු කර ඇති අතර බස් රථය ඩිපෝව වෙත යොමු කර රථයේ දෝෂය නිවැරදි කිරීමෙන් පසු යළි ධාවනයට එක් කිරිමට පොලීසිය අවසර ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
