දේශීය පුවත්
තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට
තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් කිලෝග්‍රෑම් 700කට අධික හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයට සම්බන්ධ තවත් සැකකරුවෙකු තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය පැවසූයේ, ‘බෙලිඅත්තේ සනා’ ලෙස හැඳුන්වනු ලබන මෙම සැකකරු ඊයේ (01) දිනයේදී අත්අඩංගුවට ගත් බවයි. ඔහු මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වන ‘භූමිතෙලා’ ගේ සමීපතමයෙකු බවත් පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත.
මෙම මත්ද්‍රව්‍ය තොගය ‘උනාකුරුවේ ශාන්ත’ ලෙස හැඳුන්වනු ලබන විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් බව පොලිසිය සඳහන් කළේය. ඔහු විසින් මෙරට ජාවාරම් කටයුතු සඳහා මේ මත්ද්‍රව්‍ය තොගය ගෙන්වා තිබූ බවයි විමර්ශනවලින් හෙළිව ඇත්තේ.
මේ අතර, අදාළ ජාවාරම්කරුවන් විසින් මත්ද්‍රව්‍ය සඟවා තබා ගැනීමට භාවිතා කළ තවත් නිවසක්ද පොලිසිය විසින් සොයාගෙන තිබේ. එය තංගල්ල මාරකොළනිය ප්‍රදේශයේ පිහිටි නිවසක් බවද පොලිසිය පවසයි.
මෙම විශාලතම මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් පොලිසිය මේ වනවිට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් ඇති අතර, සම්බන්ධ සියලුම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ කටයුතු සිදු කරයි.
අදාළ සිද්ධිය පිළිබඳ අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේ, රට තුළ ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු සියලු අපරාධ කඩිනමින් අවසන් කිරීමට රජය කැපවී ඇති බවයි.
